Sunday, April 5, 2020

මගේ ලිපි අංක 15 - Netflix ගැන සිංහලෙන් Netflix in Sinhala


මොකක්ද මේ Netflix?


සරලවම කිව්වොත් Netflix කියන්නේ අපි කැමති ෆිල්ම්, ටීවී සීරීස්, ඩ්‍රාමා එහෙම බල්න්න පුලුවන් ඔන්ලයින් වෙබ් සයිට් එකක්. අපිට මේ පහසුකම ලබාගන්න අපි යම් මුදලක් ගෙවලා මුලින්ම ඒකේ මෙම්බර් කෙනෙක් වෙන්න ඕන. ස්මාර්ට් ටීවී එකෙන්, ලැප් එකකින්, ඩෙස්ක්ටොප් එකකින් එහෙමත් නැත්නම් ෆෝන් එකෙන් මේ පහසුකම් අත්විදින්න පුලුවන්.


මොනවද මේකේ තියෙන්නේ?

සම්මාන දිනපු ෆිල්ම්, ඩ්‍රාමා, ඩොකියුමන්ට්‍රීස්, කාටූන් ආදී මෙකී කී නොකී හැම එකක්ම මේකෙ තියනවා. ඒවාත් එක එක විදියට කැටගරි කරලා ලස්සනට තියෙනවා අපිට තෝරගන්න පුලුවන් විදියට. පහල තියෙන පින්තූරෙ බලන්නකො.

නෙට්ෆ්ලික්ස් ෆිල්ම් කැටගරි
ඒ විතරක් නෙමෙයි. අපිට මේකෙ එකවුන්ට් එක කිඩ්ස් විදියටත් පාලනය කරන්න පුලුවන්, එතකොට කට කන සීන් වගේ එවුවා නැතිව බය නැතුව තමන්ගෙ පොඩි එකාට ෆිල්ම් එකක් දාලා දීලා පාඩුවේ ඉන්න පුලුවන්.

අනිත් එක තමයි අපිට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන් ඕෆ්ලයින් වෙලා බලන්නත් පුලුවන්. හැබැයි දවස් 30ක් විතරයි තියාගන්න පුලුවන්.

ඩේටා කැපෙන විදිය ගැන බැලුවම එක පැයක් බලන්න ‍මෙගා බයිට් 600 ක් වගේ තමයි ඇවරේජ් යන්නේ.කොලිටිය ගැන කියලා වැඩක් නෑ.

කොච්චර ගෙවන්න ඕනද?


ගෙවීම් කරන්න තියෙන්නෙ තමන් තෝරගන්න ප්ලෑන් එක අනුව. පහල දාලා තියෙන්නෙ ශ්‍රී ලංකාවේ මං පාවිච්චි කරන එකවුන්ට් එකේ විස්තර. මාසෙකට ඩොලර් 9.99 ගෙවන්න තියන එක තමයි මං පාවිච්චි කරන්නේ ඒකට ලංකා රුපියල් 1906.51ක් කැපිලා තිබුනා (30/03/2020) දිනට.සෑහෙන්න කාලයක් ඩොලර් 7.99 පැකේජ් එක් පාවිච්චි කරලා තමයි මං අනිත් එකට අප්ග්‍රේඩ් උනේ.

මේ කර්ෆිව් එක අස්සේ ෆිල්ම් එකක් බලන් පාඩුවේ ඉන්න පුලුවන් නිසා ඒ ගානට මටනම් කිසිම පාඩුවක් නෑ. තෝරගන්න තියෙන ෆිල්ම් ගොඩයි කොලිටි එකයි බැලුවම කිසිම පාඩුවක් නෑ. අනිත් එක මං ඩිවයිස් 4 ක එකම එකවුන්ට් එකකින් යූස් කරනවා.

නෙට්ෆ්ලික්ස් එක ලංකාවේ ඩයලොග් එකත් එක්ක එකතු වෙලා පේමන්ට් කරන්න පුලුවන් මෙතඩ් එකක් තියනවා. හැබැයි ගෙගාබයිට් 5ක් විතරයි අපිට ෆ්රී දෙන්නේ එතනින් එහාට පාවිව්වි කරන ඩේටා වලට චාජ් වෙනවා. මං පේමන්ට් එක කලේ මගේ නෝමල් කොමර්ෂල් බැංකු ඩෙබිට් කාඩ් එකකින් නිසා කිසිම සීමාවක් නැතිව නෙට්ෆ්ලික්ස් යූස් කරන්න පුලුවන්.

වෙන රටවල්වලට නෙට්ෆ්ලික්ස් නොමිලේම මාසයක් ලබාගන්න පුලුවන්.ඒත් ලංකාවේ අයියලගේ වැඩ නිසා ඒ චාන්ස් එක අපේ රටට ලබාගන්න බැහැ.





Wednesday, March 15, 2017

මගේ ලිපි අංක 14 - උපාධි කඩ.....


උපාධි කඩ.....

උපුටා ගැනීම නුමේෂ් ඩිලූෂ සොයුරාගේ බුකි පිටුවෙන්

අන්තරේ, පෙරටුගාමී, සමාජවාදී ශිෂ්‍ය බල මණ්ඩල ආදී එකී නොකී අදාළ සංවිධාන වල සංවිධායක සහෝදර සහෝදරියන් වෙත,


ප්‍රමිතියක් නැති උපාධිධාරීන් තනන යම් ආයතනයක් වේ නම් ඒ සදහා විරුද්ධ වූවෙමි, අදද ඒ සදහා විරුද්ධ වෙමි, හෙටද ඒ සදහා විරුද්ධ වන්නෙමි. සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර සැමගේ අයිතිවාසිකමකි. එය නුබත්, මාත් පිළිගන්නා කරුණකි. නමුත් නුබලාට අමතක වූ එක් කාරණාවක් ඇත. එනම් සැමට ලබාගත හැකි අධ්‍යාපනයයි. අයන්න ආයන්න කියා නුූඹලා සමග එකට පාසලට එක්වූ සහෝදර සහෝදරියන් ගැන මදක් සිහිකර බලන්න. පිළිවෙලින් ශිෂ්‍යත්ව කඩයිම, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී කඩයිම් පසුකරන විට නුඹ සමග ඔවුන් සිටියාද? එක බත්පත පොරකා කා, එකට පිටියට පැන ගුටි පන්දු ගැසූ, ක්‍රිකට් ගැසූ නුබේ පැරණි මිතුරන් අද නුඹ ළගද? සමහර විට එකට ගුරුවරුන්ගෙන් ගුටිකා, එක ළගට වී දණ ගසා සිටි අතීතයේ නුබේ හොදම මිතුරන් අද කොහිද? සා/පෙළ , හා උ/පෙළ පසු කරමින් සරසවි දොරටුවෙන් ඇතුලත් වූ පසු නුබලා සමග පැමිණි නැති උන් ගැන නුබලා විපරම් කලේද? නැත. සැවොම කාලයත් සමග තරගයක යෙදී සිටී. එදා නුඹ ළග සිටි මිතුරා අද සමීපව නැත. අද ළගම සිටින්නේ සරසවි දොරටුවෙන් ඇතුලට ආ පසු හමුවූ නව මිතුරා පමණි. නුබලාගේ අතීත මිතුරන් සා/පෙළ හා උ/පෙළ කඩයිම් වලින් හැලී ගොස් ඇත.

අදාළ කඩයිම් විභාග නුබලා තරම් හොදින් කර ගැනීමට අසමත් වූ ඔවුන් කුමක් කළ යුතුද? පියා අදයට කළ කුඹුර ඔහුත් කළ යුතුද? පියා නැති ඇයව ජීවත් කරවූ ඇගේ මව මෙන් ඇයත් තේ දලු නෙළීමට යා යුතුද? ඔහුගේ පියාගේ රැකියාව වූ වැළි ගොඩ දැමීම ඔහුගේත් අනාගත රැකියාව වි යුතුද? පෙදරේරු රස්සාවෙන් මුලු පවුලේම සා ගින්දර නිවූ ඔහුගේ පියාගේ අඩි පාරේ ඔහුත් ගමන් කළ යුතුද? තම සවිය ගාමන්ටුවේ මහන මැසිමට වැය කළ ඇයගේ මව මෙන් ඇයත් සන්නාලියක විය යුතුද? රජයේ රැකියාවක් කරන ඔහුගේ පියා තරම් අධ්‍යාපණ සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ නිසා ඔහු තම ජීවිතය ගෙන යාමට ගඩා ගෙඩි කැඩිය යුතුද? නැතහොත් ඔවුන් සොරකම්කොට, මිනීමරා හෝ යම් අන් ක්‍රමයක් සොයා ගත යුතුව ඇද්ද? නුබලාගේ ලොජික්වලට අනුකූලව නම් සරසවි යාමට නොහැකි වූ අටපාස් නොමැති උදවිය සමාජවාදී ආර්ථික ක්‍රමයක් පැමිණ, උ/පෙළ සමත්වූ සියලු සිසුන්හට සරසවි යාමට හැකිවන දා තෙක් ඉහත සදහන් ක්‍රමයකට මුදල් ඉපයිය යුතුය.

කොළඹට ආ නුබලාගේ අත තිබුනේ අදාළ වෛද්‍ය ආයතනය අහෝසි කළ යුතු යැයි රජයට බලකරන පුවරු පමණක්ම නොවේ. IESL, කොතලාවල, NSBM ආදී උපාධි කඩ අහෝසි කරනු යන්නත් පැහැදිළිව දැක්වුනු සටන් පාඨ විය. පැහැදිලිව එය බංකොලෛාත්, හිරිකිත දේශපාලනික නුබලාගේ තනි මතය බව පැහැදිලි වේ. සමස්ථ විශ්වවිද්‍යාල ප්‍රජාවටම පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබදව ගැටලුවක් නොමැත. ඔවුන් සියලු දෙනාම කොළඹට එක් රැස් වූයේ අදාළ ආයතනය සම්බන්ධයෙන් රජයට බලකිරීමටය නමුදු සිදුවූයේ නුබලාගේ හුදු දේශපාලනික උවමනා එපාකම් වෙනුවෙන් බොරදියේ මාලු බෑමක නිරත වීමටය. නැතහොත් දේශපාලනික වශයෙන් එක ගලෙන් කුරුල්ලන් දෙතුන් දෙනෙකු බිම දැමීමටය. නුබලාට අනුව එසේ සිදුවනතෙක් අට පාස් නැති අප බලා සිටිය යුුතුද?

රජයේ විශ්වවිද්‍යාල වලට ඉඩ පහසුකම් නොමැතිව බදවා ගැනීමට නොහැකි වූ කරුණ පමණක් නිසාම අප අපගේ ජීවිත කාළකණ්නි කර ගත යුතුද? අපටම කියා සැබෑ කරගැනීමට හීන නොමැතිද? එවන් හීන දැකීමට ඉඩ, අයිතිය ඇත්තේ නුබලාටම පමණක්ද? වයසට ගිය කලක තම මව්පියන් සතුටින් තැබීමට, තමාටම කියා වාහනයක් මිළට ගැනීමට, ගෙයක් දොරක් සාදා තමාගේ ලෙයින් උපන් දරුවන් හදා වඩා ගැනීමට, මනා රැකියාවක් කිරීමට අප දකිනා එම හීන, රජයේ සරසවියකට නොගිය පමණින් ඒවා අකුලා විනාස කර ගත යුතුද? නැත සොයුරනේ නැත. අපද නුබලා මෙන් එම හීන දැකිය යුතුය, ඒවා සැබෑ කර ගැනීමට විවිධ මංමාවත්වල, විවිධ අධ්‍යාපණ අවස්ථා සොයා පිබඹා යා යුතුය.


උ/පෙළ විභාගය සමත්ව සරසවි ගමන යනතෙක් නුබගෙන් මගහැරුණු යහළුවන් ඇත්තටම මග හැරුණු වෙනත් හේතු නුඹ සොයා බැලුවෙහිද? මගේ මිතුරකුගේ පියා අවසන් ගමන් ගමන් ගියේ ඔහුට උ/පෙළ විභාගයට අවුරුද්දක් පමණ කල් තබාය.  එතෙක් උපකාරක පන්ති වලදී ඔහු දැත්වූ ඉහළ දක්ෂතා නිසා පළමු අවස්ථාවේදීම ඔහු සරසවි පියසට යාවි යැයි සැවොම බලාපොරොත්තු වීමු. නමුත් සිදුවූයේ අනෙකකි. පියා නැති පවුලේ ආර්ථික අහේනිය, තමාගේ මවගේ, සහෝදරියගේ හා සහෝදරියගේ බඩගින්දර පවුලේ වැඩිමලා ලෙස ඔහුට බලා දරා සිටීමට නොහැකි විය. සමාජවාදය ගැන කතාකරන අයියලා කවුරුත් එදා සිටියේ නැත, අදත් එවන් අවස්ථාවකට බෙහෙතකට වත් නැත. සරසවි සිහිනය පසකලූ ඔහු තම සහෝදරියට හෝ සරසවි සිහිනය විවිර කරදීමේ අදිටනින් රැකියාවක් සොයා අධ්‍යාපණ මාර්ගයෙන් බැහැර විය. මෙනක් ආර්ථික අපහසුතා ඇති කොතෙකුත් දක්ෂ මිතුරන් සා/පෙළ කඩයිමට පසු හෝ මෙහා අධ්‍යාපණය හමාර කර, නුබලාට අනුව අට පාස් නොමැති රියදුරකු, පොලිස් කාරයකු, ආමි කාරයකු හෝ ලිපිකරුවකු වී ඇත්ද? මේවා ගැන කතාකිරීම නුබලාගේ සමාජවාදී ක්‍රමයට පටහැනි වන්නේ මන්ද? ලෙඩක් දුකක් සෑදී උ/පෙළ විභාගය ඇනගන්නා දක්ෂම දරුවන් තව නොමැතිද? එසේත් නැත්නම් ඉතා දක්ෂ ලෙස උ/පෙළ සමත්ව Z ලකුනේ ප්‍රශ්න නිසා හා රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගන්නා සීමිත පිරිස නිසාත් සරසවි සිහිනය අකුළා ගන්නා දක්ෂයන්, එක දිස්ත්‍රික්කයකින් AAA ලබාගන්නා සිසුවාට සරසවි වරම් අහිමි වීමත් වෙනත් දිස්ත්‍රික්කයකින් ඊට සාපේක්ෂව අඩු ප්‍රථිපලයක් ලබාගන්නා සිසුවා සරසවි දොරටුව විවර කරගන්නා විට ඒවා තම අයිතිවාසිකම් පමණක් දිනාගන්නා සමාජවාදී යැයි කියාගන්නා නුඹලාගේ සටන් පාඨ වල දක්නට නොලැබීමත් පුදුමයකි.

IESL, NSBM, SLIIT, කොතලාවල ආදිය උපාධි කඩ යැයි නුඹලා නගන සටන් පාඨ ගැන මොහොතක් සිතන්න. එසේනම් නුඹලාගේ තර්ක අනුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එවන් උපාධි කඩයක් නොවන්නේ මන්ද? එය නැතිනම් අයත්වන්නේ නුඹලාගේ කිනම් කැටගරියටද? මා දන්නා අයුරින් විවෘත විශ්වවිද්‍යාලයේ එකදු පාඨමාලාවක් හෝ නොමිලයේ හැදෑරීමට ඉඩ නොමැත. තවද උ/පෙළ අසමතකුට පවා ප්‍රාරම්භක පාඨමාලා සිදුකර සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු, ගණකාධිකාරීවරයකු හෝ වෛද්‍ය නොවන ඕනෑම රැකියාවක් සිදුකල හැකිය. අවශ්‍ය වන්නේ මුදල් සහ තමාගේ කැපවීම පමණි. ඉහත සදහන් කල සියලු උපාධි කඩවලට වඩා එම උපාධි කඩය පැරණි බවත්, අන් සියලු උපාධි කඩවල තිඹිරිගෙය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය නමැති ආයතනය බව මා දරන මතය නිවරදි නොවේනම් කරුණාකර මා නිවරදි කරනු මැන. එසේනම් එයටද විරුද්ධව සටන් පාඨ නොනගන්නේ සැමට සාධාරණ සමාජයක් කරා යන නුඹලාගේ සාමාජවාදී පාඨයේ හිඩසක් ඇති නිසාද?

රජයේ ආයතන වලින්ම උසස් අධ්‍යාපණ ඩිප්ලොමා ලබාගන්නා පිරිසද නුඹලාගේ මතයට අනුව අයත් වන්නේ අටපාස් නැති ගොබ්බයන්ට වේ. ඔවුන්ටද උපාධියක් සම්පූර්ණ කරගැනීමට, තවදුරටත් ඉහලට ඉගෙන ගැනීමට පිහිටවන්නේ ඉහත සදහන් උපාධි කඩම වේ. නුඹලා සමාජවාදයේ නාමයෙන් එරෙහි වන්නේද, වසා දැමීමට බල කරන්නනේද එම ආයතන වේ. නුඹලාගේ උපාධියට අමතරව සුදුසුකම් ලබා ගැනීමට යන CIM, CIMA, AAT ආදී ආයතන පවා මුදලට එනම් සා/පෙළ, උ/පෙළ උපකාරක පන්ති මෙන් අධ්‍යාපණය විකුණා දැමුවත් නුඹලා ඒ ගැන වචනයක්වත් කතා නොකරයි. නුඹලාගේ මතය අනුව ඒවා තුල අධ්‍යාපනය විකුනා දමන්නේ නැත. විකුනන්නේ හොද රුකියාවක් කිරීමට විධිමත් අධ්‍යාපනයක් ලබා ගන්නා නුඹගේ සහෝදර සහෝදරියන් ආසාවෙන් ඉගෙන ගන්නා ඉහත ආයතන පමණකි.මේවා අට පාස් නොමැති අපට මහා විහිලු කතන්දර වේ. නුඹලාට අනුව අප කළ යුතු වන්නේ නුඹලා සිහින දකින සමාජවාදී ආණ්ඩුවක් පැමිණි පසු සැමට අධ්‍යාපණය සලසාවී යැයි නෙත් පියන් ඇර ඒ මදිනම් කටද ඇර බලාසිටීමයි. දැන් ඇත්තේ කන්නංගර, ඇතුලත්මුදලි වැනි උගතුන්ගේ නිදහස් අධ්‍යාපන දර්ශනය වෙනුවට නුඹලාගේ වාසියට හරවා ගන්නා හා විකෘති කරන ලද චේ, විජේවීර වැනි වීරවරුන්ගේ දර්ශනයන් පමණි.

ඉහත සදහන් යම් ආයතනයක උපාධි පාඨමාලාවකට ගාස්තු ගෙවීමෙන් පසු උපාධිය නියමිත කාලයේදී නිකම්ම අතට ලැබෙතැයි වැනි නුඹලාගේ විහිලු කියමන් වලට 80% අනිවාර්ය දේශන ශාලාවල වාඩිවී සිටින මගේත්, අටපාස් නැති නමුත් ඉදිරියට ඉගෙන ගැනීමට වෙර දරනා අන් අයගේත් පස්චාත් පෙදෙස් සිනා සෙන අයුරු නුඹලා දන්නවාද? ඒවා තුළ උපාධිය නිකම්ම ලැබෙන්නේ නැත. තමා විසින්ම ඉතා මහන්සියෙන් වැර වෑයමෙන් උපාධිය උපයා ගත යුතුව ඇත. වර්ජන, පිකටින් ආදියට සහභාගී වීමට තබා රූපවාහිනියක්වත් නිදහසේ නැරඹීමට අවකාශ නැත. ඒ තරමටම assignments, coarse work, research, presentation වැහි වැහැලාය. සැමගේම බලාපොරොත්තුව වන්නේ නියමිත කාලයේදී තම උපාධිය සම්පූර්ණ කරගෙන තවත් තමන්ගේ දෙමාපියන්ට බරක් නොවී ඔවුන්ව රැකබලා ස්ථාවර වීමටද, යුතුකම් ඉටුකරගැනීමටද ඉගෙනීමට ගත් බැංකු ණය ගෙවා නිදහසේ සිටීමටය. එබැවින් මේවා සිහිකර ඉහළින් තම අධ්‍යාපණ වැඩ කටයුතු කරගැනීම අටපාස් නොමැති අපගේ පරම ඉලක්කයයි.

අදාළ වෛද්‍ය ආයතනය පෙන්වමින් ගොනා හැරෙන්නේ පොල් පැල සියල්ල කෑමට බව නුඹලාගේ මේ ක්‍රියා පිළිවෙත් නිසා නැවත නැවතත් තහවුරුව ඇත. සමාජවාදය පිළිබද අයන්නවත් නොදත් උන් හට නුඹලා බොරු මායමක් පෙන්වා සහෝදරත්වය නාමයෙන් බළලුන් ලවා කොස් ඇට බා ගන්නා ආකාරය ඇත්තටම පිළිකුල් සහගතය. කොතලාවල, IESL, NSBM, SLIIT ආදී වූ නුඹලා ද්වේශ සහගතව කියන්නා වූ උපාධි කඩවලට විරුද්ධ වීම නුඹලාගේ ඇති කුහකකම යැයි නොකියා අට පාස්වත් නැති අප අන් කෙලෙස ඒ දෙස බලන්නද?

තමාගේ පැරණි මිතුරා ඉගෙන ගන්නා ආයතන දෙස ද්වේශ සහගතව බැලීමට උන්ට පුරුදු පුහුණු කර විස පොවන්නේ නුඹලා බව අපි දනිමු. නුඹලාටද ඒ අසාධාරණ විස පෙව්වේ පවතින තුප්පහි, බංකොලත් දේශපාලන නායකයන් බව දනිමු. ඇත්තේ අනුකම්පාවක් පමණි. නුබලා තවදුරටත් ඉගෙන ගත යුතු නොවේද? අපිදු ඉගෙනීමට ආසාවක්, අකමැත්තක් ඇත්තවුන් නොවේ. නුබ අපි සැම හීන දකින්නාවූ සැමට අධ්‍යාපණයක් ලැබිය හැකි වන සේ ඉඩලැබෙන නුඹලා අද විකෘති කරන නිවරදි සමාජවාදී ක්‍රමය කවදා ලැබෙන්නේද??

සිහින දකින සැවොම මිනිසෙකි. නුඹත් මමත් සිහින දැකිය යුතුය, ඒවා තුළ ගිළී නැහැවී ඒවා සැබෑ කරගැනීමට විරිය වැඩිය යුතුය, පෙරුම් පිරිය යුතුය. මන්දයත් අප දෙදෙනාම මිනිසුන් ලෙස මෙලොව උපත ලැබූ හා මිනිසකු ලෙසම කිසිවකට අයිතිවාසිකමක් නොකියා යම් දවසක මෙලොවින් නික්ම යන නිසාය....

මීට,
නුබලාට අනුව අට පාස් නැති,
රජයේ සරසවියකට යාමට ලකුනු තිබූ,
නමුත් නුඹලාට අනුව ඉහලට ඉගෙනගැනීමට,
උපාධි කඩයකට බැදී ඉගෙනගන්නා,
නුඹලාගේම සහෝදරයෙක්......