Wednesday, September 24, 2014

නාමල්ගේ ලිපි අංක 13 - මගේ සරසවි කොතලාවල පියාණන්...

27 වන සෙනසුරාදා සැමට විවෘත වන ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය.

හැමෝටම එහෙනං ආයුබෝවන්ඩ කිව්වා ගොඩ කාලෙකට පස්සෙ.මේ පැත්තෙ කාලෙකිං එන්නත් උනේ නෑ.වෙලාවක් කලාවක් නැති උනත් නොදාම බැරි පෝස්ට් එකක් දාන්නයි මං මේ තකහනියෙන් ලෑස්ති වෙන්නෙ.

උඩ තියන ටොපික් එක දැක්කහම ඉතිං ඕනම කෙනෙක්ට තේරෙනවා ඇති මං මේ කියන්න යන දේ.මගේ සරසවි පියා, ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අවුරුද්දකට සැරයක් තියන OPEN DAY එක මේ එන සෙනසුරාදා හරියටම කියනවනම් 2014 සැප්තැම්බර් 27 වැනිදා උදේ 8.00 ඉදලා හවස 5.00 වෙනකම් පැවැත්වීමට නියමිතයි.

මොකක්ද මේ OPEN DAY ?

ජෙනරල් සර් ජෝන් කොතලාවල මැතිතුමා

OPEN DAY කියන්නෙ විශ්ව විද්‍යාලයෙ ඇතුලට ඇවිදින් තමන්ගේ දරුවට,මිතුරෙකුට කොටින්ම කියනවනම් වැඩිදුර ඉගෙනගන්න ආස ඕනම කෙනෙකුට විශ්ව විද්‍යාල වටපිටාව,උපාධි පාඨමාලා,ඉගෙනුම් පරිසරය,ඇතුලත්වීමට සුදුසුකම්, විශ්ව විද්‍යාලය සතුව ඇති සම්පත් ආදී සියලුම තොරතුරු දැනගන්න හැමෝටම තියන අවස්ථාවක්.එදාට ආවොත් මේ සියලු විස්තර පිළිබදව ඔබට දැනුවත් වෙන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි.මං උඩින් ලියලා තියෙන්නෙ මගේ සරසවි පියා කියලා.... වෙන තැනකනම් යොදන්නෙ මගේ සරසවි මෑණිය කියලනේ.එදාට ආවොත් ඔයාලටත් තේරෙයි මං සරසවි පියා කියලා ආමන්ත්‍රණය කලේ ඇයි කියලා.

 

 


ඡායාරෑප අනුග්‍රහය ගයාන් පිරේ

 

මේ OPEN DAY එක ගැන පිරේ එයාගේ අච්චාරුවේ දාලා තිබුනා.ඒකට මෙතනින් යන්න.

තියන තැන හොයාගන්න අමාරු උනොත් මෙන්න ගූගල් මැප් එක

එහෙනම් මතකයිනේ....? මේ සෙනසුරාදා උදේ 8 ඉදං හවස 5 වෙනකම් රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඔබ වෙනුවෙන්මයි.....

තව පොඩ්ඩෙන් අමතකවෙනවා.... මේ විශ්ව විද්‍යාෙලයට ආව මුල් කාලෙ අපිට තිබුණ නායකත්ව පුහුණුව ගැන මගේ අත්දැකීම් මං මෙන්න මෙහෙම ලියලා තියනවා.ඒ ගැන දැනගන්න ඕන නම් මෙතනින් යන්න.

වැඩිදුර විස්තර ඕනනම් මෙන්න ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිළ වෙබ් අඩවිය.

 


 


Friday, August 22, 2014

නාමල්ගේ ලිපි අංක 12 - සියලු රියදුරු මහතුන් වෙතයි

වැස්ස,මඩ වළවල් සහ පොන්න රියදුරන්




ඔබත් පොන්න (වඩාත්ම ගැළපෙන වචනය හු**ගෙ යන්නයි) රියදුරෙක්ද?

මාර්ග පද්ධතියක ජීවීන්, පදිකයන් හා රියදුරන් ලෙස කොටස් දෙකකට සරලව බෙදා වෙන් කල හැක.මේ කොටස් දෙක සදහාම නීති පද්ධතියක් ඇති අතර පොත්වල නොලියවූ ආචාරධර්ම පද්ධතියක්ද ඇත.රියදුරන් මෙන්ම පදිකයන් අතරද මෙම ආචාරධර්ම පද්ධතිය බල්ලටම ගොස් හමාරය.

ඊයේ (අගෝස්තු 21) උදේ හතට පමන මම ඉගෙනගන්නා අධ්‍යාපණ ආයතනය කරා පැමිනෙමින් සිටියෙමි.රෑ පුරා වැටුනු වැසි වලින් පාර පුරා ඇති වලවල් වතුරින් හා මඩෙන් පිරී ගොසිනි.ඒ වෙලාවේද මද වැස්සක් වසිමින් තිබුනි.මීටර සීයක් පමණ ගොලුමඩම හන්දියට යාමට මට ඇත,කුඩයක් ඉහලාගත් මම පාරේ මඩ වළවල් බේරා හරිමින් මහත් අපහසුවෙන් ගමන් ගතිමි.නිතරම ඇගට මඩ විසිකරමින් මඩවලවල් මතින්ම වේගයෙන් ධාවනය කරන රියදුරන්ගේ අම්මලා සිහිකරමින්ම ගමන් ගතිමි.වැස්සට තෙමීම කෙසේ වෙතත් විසිවන මඩ පාරෙන් බේරීමට කුඩය දිගු කරමින් ගමන් කිරීම පදිකයන්ට ගුණදායකබව අමුතුවෙන් කීමට නොමැත.

සුදු පාසල් ඇදුමින් සැරසුනු සිසුවියක් තම සොයුරා යැයි සිතිය හැකි කුඩා ළමයකු සමග පාරේ රැදී සිටියේ මේ අතරය.ඔවුන් මට සමාන්තරව පාරේ අනික් පැත්තේය,පාර මැද තඩි මඩවළකි.wp YO-63** (අග ඉලක්කම් දෙක දැන් මට මතක නැත) දරන නිල් පාට ත්‍රීරා්‍ෙද රිය කලින් දවසක යාමට තිබූ ගමනක් යමින් මහත් වේගයෙන් මඩ වල මතින්ම ගමන් ගත්තේ ඔවුන් දෙදෙනා සම්පූර්ණයෙන්ම නාවමිනි.වැඩ දන්නා නිසා මම මගේ කුඩය පහත් කර එම මඩ ප්‍රහාරයෙන් බොහෝ දුරට වැළකීමි.එහි ගමන් කල අවුරුදු විසිඅටක් පමන තරුණ රියදුරාට ඒ ක්‍රියාව මහත් විහිළුවකි.තම උපැස් යුවළ යටින් අප දෙස සිනාසී බලා තව අඩුපාඩුවට රථයේ නලාවද හැඩවූයේ අපිට හයර් නොදී පයින් යනවට හොදවැඩේ කියන්නාක් මෙනි.තෙමුනු සිසුවිය තම කුඩය දිගු කර මොකක්දෝ තම සොයුරාට පවසනු මම දුටිමි.



කුඩයක් ඉහලාගෙන මේ නිවාඩුකාලයේ පාසල් ඇදුමින් සිටින්නෙ අනෙකක් සදහා නොව තම උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණදීමට යාමට බව මට සිහිඋනි.ඇය වෙනුවට මගේ සොයුරියගේ මුහුණ මට සිහිවිය,ඇයගේ සොයුරා වෙනුවට මගේ මල්ලගේ මුහුණ සිහිවිය.මගේ කෝපය සීමාරහිත විය.සිද්ධිය වූයේ කල්දෙමුල්ල පාරේ ටාටා සේවා ස්ථානය අසලදීය.ගොලුමඩම හන්දියට ඔන්න මෙන්න දුරය.මම විගස ඒ දුර ගෙවා ආවෙමි.එනගමන් පොන්න රියදුරු හට දෙන දඩුවම මෙයැයි තීරණය කර ආයතනයේ සියලු ලාංඡන ගලවා සාක්කුවට දා ගතිමි.සිතුවා නිවරදිය,ඒ රියදුරු පොන්නයා ආපස්සට යාමට අවසාන මගියා නගිනා තෙක් රැදී සිටී.

මම ඔහු අසලට ගියෙමි.සිතේ වූ කෝපය ඔහුගේ කන හරහාම ගමන් ගති.යමක් සිදුවුනි.ටාං ගෑවුනි.... ඔහුගේ උපැස් යුවල ඇදවී ඇඹරී ගැලවී රිය තුලටම වැටෙනු මම දුටිමි.හු**ගේ පුතා ආයි මඩ වලක් ගාවින් යනකොට හෙමිං පල තොපි විතරක් නෙමෙයි පාරේ යන්න ඕන.මුවින් පිට වූයේ එපමණකි.ආයිමත් ඌ මුකුත් කීමට ගතහොත් දෙතුන් දෙනෙකුගේ බිද අත්දැකීම් ඇති මූන මැද ඇති අංගය වන නාසය මොහුගෙත් බිදීමට ඉටා සිටියෙමි.මගේ ඒ සුන්දර අපේක්ෂාව බිදලමින් පළමු ගියරය සැනෙකින් දමා ඔහු ඉගිල්ලී ගියේය.

මෙය කියවන සියලු රියදුරු මහතුනේ.....,ඔබ සියලු දේ නිවරදිව සපයමින්,සම්පූර්ණ කරමින් රියදුරු බලපත ලබාගත් අය වීමට පුුලුවන, නැතහොත් පරීක්ෂකට,රිය පුහුණුකරුවන්ට පගාව දී හෝ වෙනයම් ක්‍රමයකින් බලපත ලබාගෙන රියපදවනවා වීමට පුලුවන.කමක්නැත, පාරේ සිටින්නෙ ඔබේ දුව,පුතා හෝ පවුලේ අය නොවීමට පුලුවන නමුත් ඒ සැවොම මිනිසුන්ය.ඔවුන්ට තමන්ගේ පවුලේ අය ආදේශ කරමින් මොහොතක් සිතා බලන්න.පාසල් යාමට,රැකියාවට යාමට හෝ වෙනත් ගමනක් බිමනක් යන පුද්ගලයෙක් හට මෙවන් අත්දැකීමකට මුහුනදුන් විට ඔහුට හෝ ඇයට සිදුවන අපහසුතාව ගැන සලකා මානුශීය හැගීමකින් යුතුව රිය පදවන්න.ඔබ රියදුරකු නොවී රථයක ගමන් කරයි නම් එම රථයේ රියදුරුහට කරුණාකර මේ බව දැනුවත් කරන්න. 

Thursday, July 10, 2014

නෝනගේ ලිපි අංක 1 - උළුදු වඩේ හදමු....

වඩේ වඩේ උළුදු වඩේ...රසයි රසයි උළුදු වඩේ.......

යාලු වෙලා ඉන්න ගෑං ළමයාට බොහොම අමාරුවෙන් කංකෙදිරි ගාලා ඉල්ලලා එයා යන කුකරි කුලාස් එකේ උගන්නපු දෙයක් දාන්නයි මං මේ ලෑස්තිවෙන්නේ..... ඒ වෙන මොනවත් නෙමෙයි උළුදු වඩේ හදනහැටි.....


ආසයි නේ??


ඕන කරන එව්වා.....

උදු පිටි 200g
පාං පිටි 200g
රතු ලූණු 100g
කෑලි මිරිස් මේස හැදි 2
ගම්මිරිස් කුඩු මේස හැන්දක් පමණ
පොල් බෑයක පොල්
කරපිංචා
කහ කුඩු  
අවශ්‍ය පමණට ලුණු
පොල් තෙල්
ආප්ප සෝඩා තේ හැන්දක් පමණ

සාදන ක්‍රමය

1.කරපිංචා හා ලූණු සෝදා සිහින්ව කපාගන්න 
2.පසුව භාජනයක් ගෙන පාං පිටි,උදු පිටි,ගා ගත් පොල්,ලූණු,කරපිංචා,ලුණු,ආප්ප සෝඩා,ගම්මිරිස්,කෑළි මිරිස් එකතු කර වතුරින් අනා ගන්න.
3.ඉන් පසු එම මිශ්‍රණය පැය 4ක් 5ක් පමණ පිපෙන්නට තබන්න.
4.පසුව පිටි මිශුණයෙන් කුඩා ගුලි සාදා ඒවායේ මැද හිල (සිදුර) සාදා ගන්න

5. පසුව තාච්චියක් ගෙන තෙල් දමා තෙල් රත්වන විට එම සාදා ගත් ගුලි එයට දමා මදගින්නේ රන්වන් පාට වන තෙක් බැදගන්න


 


 දැං ඉතිං කටට උනපු කෙල ටික ගිලලා.කටට සැර එන්න හොද ලුණු මිරිසකුත් හදාගත්තනං..........
හදපු උළුදු වඩේ වල රස බලන එක තමයි දැං තියෙන්නේ.....
හා එන්න එන්න පෝළිමේ.... වඩේ වඩේ උළුදු වඩේ....රසයි රසයි උළුදු වඩේ.......!!



දැං ඉතිං කාල බලපු උළුදු වඩේ වල රස ගුණ කියලම ගියානං...................


 

Thursday, June 26, 2014

නාමල්ගේ ලිපි අංක 11 - සිතින් පාසල් කාලයට ගියෙමි

 අඩෝ බ**... උබේ අම්මට.....!!


මාස ගානකින් මුකුත් ලියන්න බැරි උනා.හරියටම කියනවනං මාස හතරයි දවස් විසි හයකින්.හත්ඉලව්වේ.....ඒ කියන්නෙ මාස පහකිං විතර.....උනන්දුවක් තිබ්බෙ නැති එක තමයි සේරටම මුල,එහෙම නැතිව මං බිසී පොරක් කියලා පෙන්නන්න වේලාවක් තිබුනෙ නැතිව එහෙම නෙමෙයි.එක්සෑම් ලියලා යන්තං සතියක් නිවාඩු ලැබුනා(නොදෝකිං තව සතියක්වත් දුන්නනම් මක් වෙනවද?).පෙරේදා හවස බෙලිඅත්තෙ ඉදං මොනරාගල එන්න බස් එකට නගින්න බෙලිඅත්තෙ බස්ටෑං එකේ ඉන්න කොට අපිට ඕලෙවල් වලට ඉස්කෝලෙදි ගණිතය උගන්නපු දියොකුබදු සර්ව දැක්ක.දැං නම් දියොකුබදු සර්....ඒ කාලෙ විදියටනම් දියබ*** නැත්තං බද්*.සර් දැං වයසයි,හරි තෙහෙට්ටු වෙච්චි පෙනුමක් තිබ්බේ.ලොකු මල්ලක් අරන් දාඩිය පෙරාගෙන හනිකට තංගල්ලෙ බස් එකකට ගොඩඋනා.කතාකරන්න කියලා මං වාඩිවෙලා ඉදපු තැනින් නැගිටිද්දිම ඒ බස් එක ගියා.හිතේ කොනක මොකක්දෝ මන්දා අමුතු දුකක් දැනුනා බස් එක යනවා දැකලා.

ඒ එක්කම මට මොණරාගල බස් එක ආවා.යන්තං ශීසීට් එකකුත් හම්බුනා.මගේ හිතේ කොනක මොකක්දෝ මන්ද අමුතු දුකක් මට දැනෙනවා වගේ.ඒ කාලේ සර්ට හූ තියපු හැටි,සර්ගෙ මෑණියෝ ආදරෙන් මතක් කරපු හැටි මට චිත්තරපටියක් වගේ මතක් වෙන්න ගත්තා.
මේ ඉන්නෙ මගේ ආදරණීය වීරකැටිය පාසල් මව....

ඒ කාලෙ මං හිටියෙ නමය වසරේ,එතකොට දියෝකුබදු සර් තමයි අපේ ශ්‍රේණි භාරව ඉදියේ.ගිය ආත්මෙ කරපු කුජීත වැඩකටද මන්ද මට සර්ව පෙන්නන්න බෑ,සර්ට මාව පෙන්නන්නත් බෑ.ඒ මොකද කියනවනං බස් වලදි හූ තියලා,ෂර්ට් එකේ බට්න් ඇරං ඉදලා,ලොකු කොල්ලොත් එක්ක බජව් දාලා,පීරියඩ් කට් කරලා අහුවෙලා වගේ, අපිට සීනි බෝල ඒත් සර්ලට කක්කි බෝල ප්‍රශ්න නිසා....ඒ කාලෙ මං ඉගෙනගත්තෙ කඩ්ඩ මීඩියම් පංතියේ.හරි ශෝක් පංතිය,කිසි වළියකට ප්‍රශ්නෙකට ගෑවුනේවත් නැති පංතිය.පිරිමි ළමයි කියලා වෙනසක් නැතිව උනුත් ගෑං ළමයි වගේ හිටියා, ඔව් උන් ඇල් වතුරත් නිවලයි බිව්වේ.අපි කරන කියන හොර වැඩ මාට්ටු වෙන්නෙ නැතිව කරගෙන හැමදාම හොද ළමයි උනා.පංතියේ ළමයි විසි නමයයි ඉදියේ.මංතුමා හැමවාරෙම විසි අට.....කියන්න සතුටුයි නේ???  ඒ කාලේ හැමදේටම මාත් එක්ක හිටපු, පස්සේ කාලෙදි කි*** හන්ද වෙනස් වෙච්චි මටම හරියන එකෙකුත් ඉදියා....ඌ පංතියෛ් විසිනමවැනි තැන දිනං හිටියා.....ඔව් කියන්න සතුටුයි පංතියේ අවසානෙ ඉදං මුල්ම ස්ථාන දෙක අපි බොහොම ගෞරවෙන් රැකං හිටියා කාටවත් නොදී......

ඒකාලෙදී ඉස්කෝලෙ කොල්ලොන්ට පුදුම උණක් තිබුනා.ඒ තමයි ඉමිටේෂන් ගෝල්ඩ් පාට චේන් දාන එක.එහෙම චේං කෑල්ලක් දාලා ෂර්ට් එකේ උඩ බොත්තමත් ඇරං ඒ කාලේ මයිල් ගහක් බේතකටවත් හොයා ගන්න බැරි පපුව පෙන්නං යද්දි කොල්ලොන්ට හිතුනලු කෙල්ලෝ සෑහෙන්න බලයි කියලා....හූ හූ පව් නේ.....?? දැංනං මතක් වෙනකොටත් හද්ද නෝණ්ඩිය....ඒත් ඉතිං මක් කොරන්නයැ විසේ බේරෙන,පැණි බේරෙන වෙරලු මල් සුවද හමන කොලු කාලෙනේ...

ඔන්න ඉතිං මං තුමාටත් අර උඩ කිව්ව උණ වැළදුනා..හරියන්නෙ නෑ..ගියා හංදියෙ කඩේ ගාවට...ගත්ත කඩි බිත්තර පැකට් දෙකක්.කඩි බිත්තර ගැන නොදන්නා පිංවතුනි.....කඩි බිත්තර යනු පාට කළ පැණි රස හූනු බෙටි වේ.... චී...යාාා නේද? ඒකාලේ කඩි බිත්තර පැකට් එකකට අනං මනං පොඩි පොඩි අයිටම් හම්බුනාහුය...(වියාකරණ හරිද මංදා).මංතුමා ගත්තේ ඉමිටේෂන් ගෝල්ඩ් කලර් මාල ඇති පැකට් දෙකකි.දෙකක් ගත්තේ එකක දිග බෙල්ලට දා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවුනු නිසාය.ගෙදර එන ගමන් හූනූ බෙටි වල සස බලා ගෙදර ආ විගස අඩුවකුත් ගෙන මාල දෙක මූට්ටු කර තනි මාලයක් කිරීමේ මහා මෙහෙයුමද සිදුකළෙමි.

ඊළග දවසේ මහත් බලාපොරොත්තු සහිතව මාලය සුරැකිව සාක්කුවේ දමා ලොකු කොල්ලන්ගෙන් වස්තුව රැකගෙන පාසලට ආමී.අපේ පන්තියට පැමිණ මාලය බෙල්ලෙ එල්ලා ගෙන උඩ බොත්තමද ගලවා වීරයකු සේ රැගීමට පටන් ගතිමි.(උඩ බොත්තමද නැත්නම් බොත්තං දෙක තුනද කියා මට දැං මතක නැත).දාඩිය නැතත් දාඩිය දානවා සේ පෙනෙන්න මාලයට බොරුවට පිඹ පිඹ දැමූ රැගුම් ගැන දැංනං විලි ලැජ්ජාවේ තංතෝතෙ බැරිය.පීරියඩ් කට් කර පංතියෙන් එළියට විත් රැගුම් දමන අතරේ බද්දාට හදිසියේම මා මුලච්චි විය.

ඔය ළමයා මෙහෙ එන්න.දැං මොනවද තියෙන්නෙ?
මුකුත් නෑ සර්.මේ මේ වතුර ටිකක් බොන්න ආවා......
මොකෝ අනිත් පැත්ත හැරිලා?බොත්තම ගළවගෙනද ඉන්නෙ??
(ඒ දවස් වල උඩ බොත්තම ගලවං සිටීම යනු දඩුවං ලැබිය හැකි වරදකි)
නෑ නෑ සර් මේ මේ මගේ බොත්තම ගැළවිලා.ඔව් සර් ගැළවිලා ඔව් ඔව්  
කෝ බලන්න....යකෝ මූ මාලෙකුත් දාං ඇවිල්නේ...කොහේද මගුලකවත් යන්නද?ඔය බොත්තම කැඩිලද බොල.... (ටෝං......සෑර් තුමා විසිං මංතුමාගේ කන ඉතා ආදරයෙන් අතගාන ලදී)පොඩි උන්ගේ පංතියක් ඉදිරියේ නිසා ලැජ්ජාව බාල්දියෙන් එකකි. 
සෑර්ගේ මෑණියං ආදරෙං මතක් කරන එක ඇර වෙන මං මක් කරන්නද??(ඒ වෙලාවේ හිතිං කිව්ව ඒක වෙන්න ඕන උඩම තියෙන්නෙ)
නෑ සර් මේ හවස මගුල් ගෙදරක යන්න කියලා අම්ම ඕක උදේ දැම්මෙ සර් කරට.මගේ මාලෙ රත්තරං සර්....(වටිනාකම වැඩිවීම හා අම්මා යන වචනය හේතුවෙන් මාලය ආපසු මට දේ යැයි බලාපොරොත්තුවෙන් මං ඒ මහා කෙබ්බය ඇත්තක් ලෙස දෙසා බෑවෙමි) 
හා රත්තරංද?ගලවපිය ඕක.හෙට උදේ අම්මත් එක්ක වර මං මාලෙ දෙන්න.....(සෑර්තුමා විසින්ම බොරු රත්තරං මාලය ගලවා එතුමාගේ සාක්කුවට දා ගනී)
අනේ එහෙම කරන්න එපා සර්...තවත් නෑ...අනේ සර්....
නෑ නෑ මං ප්‍රිංසිපල් සර් ලගට එක්ක යන්නද නැත්තං හෙට ගෙදරිං එක්කං එනවද?
නෑ නෑ සර් මං අම්ම එක්කං එන්නං..(ඒ කාලයේ පිනා ළගට යාම යනු විහින්ම ඇරගැනීමක් හා ගුටි ලෝකයකි)

එදා දවසේ ඉතිරි ටික කෙසේ ගෙවුනිදැයි මට මතක නැත.මතක ඇති කාලෙකට මගේ මව්තුමිය මගේ වැඩකට පාසලේ පස් පාගා නැත.මං මට වෙන පජාත වැඩ ගෙදරට කියන්නේද නැත.මංද, මංතුමා ගෙදරට හරි හොද ළමයකු නිසාය.

ඊළග දවස උදා උනි.බද්දාට මාට්ටු නොවී දවස ගෙවීම මගේ පරම උත්සාහය විය.පීරියඩ් කට් කර ඇවිද ඇවිද හිටියොත් බද්දා කෙසේ හෝ මා අල්ලගනී.එනිසා මහත් වෑයමෙන් උදේ සිට පංතියේ සිටීමට ඉටා ගතිමි.මට මතක හැටියට ඒ වෙලාවේ පංතියේ හිටියේ අංක එක හොරා අංක දෙක හොරා ආදී ලෙස අපව හංවඩු ගැස්වූ ආදරණීය පියා....පියසිරි සර් හැර වෙන කවරහුද? 

කෙළාහුටා.......!!!, 

මෙන්න බද්දා අපේ පංතියේ...සර් මං මෙන්න මේ ළමයා පොඩ්ඩක් ගනනවා... 
මගේ දිහාට ඇගිල්ල දිගු කර බද්දාතුමා පැවසීය..මුලු පංතියෙම ඇස් මගේ දිහාවටය....මරන්න ගෙනියන හරකකු සේ බොහොම අමාරුවෙන් මා නැගිට්ටෙමි.නැගිට පංතියෙන් එළියට ආමි..ටික දුරක් ගිය පසු බද්දා මගේ දිහාට හැරුණි.... ඩෝං බඩෝං දඩ බඩාං......අලි වෙඩි රැළක් මගේ කන් අසල පත්තු වෙනවා මෙන් දැනුනි... ඉස්සරහට පස්සට දෙපැත්තට මා විසි වෙනවා ළාවට මතක ඇත...සර් මා හට කරුණාව දක්වා ඇත....(නැවත වරක් මට හිතෙන දේ කියවීමට උඩටම ගොස් මාතෘකාව බලන්න....)
සර් සාක්කුවට අත දමා මොකක්දෝ කලු දංවැල් කෑලි දෙකක් එලියට ගන්නා ලදී...මේ මොකක්ද බොල මේ....??
මෙන්න උබේ රත්තරං මාලෙ...අරං ගිහිං තොගෙ අම්මට දීපිය...
හැක් හැක්....හැක්......!! මගේ සත්තලං මාලය.....එය සර්ගෙන් අතට ගනිද්දී රත්තරං පාට කුඩු වගයක් මගේ අතේ තැවරුනි.මගේ දාඩියට හා සර්ගේ සාක්කුවේ තිබූ දේ වලට ඇතිල්ලී මාලයේ රත්තරං පාට මැකී ගොස් කලු පාට දංවැල් දෙකක් මතුවී ඇත...ඒ විතරක්නම් මදැයි....මං බොහොම අමාරුවෙන් සෑදු පූට්ටුවද ගැලවී ගොසිනි...හී හී.......අන්න එහෙමයි එක දංවැල දංවැල් දෙකක් වෙලා තියෙන්නෙ.......
නැවත වරක් ඩෝං ඩෝං.....මගේ පිටකොන්ද ආදරයෙන් අතගානවා මට දැනුනි.... 
දැං පළයං පංතියට...
(හා හොදයි හු#$%^ කොල්ලෝ....මං හිතිං)  

කතාවක් එසේ අවසන් විය.දහය වසරෙදි හා එකොළහ වසරෙදි ගණිතය ඉගැන්වීමට සිටියේද බදු සර්ය....ඇත්තටම මං එම කාලයේදී ඉතා විනීත,කීකරු සිස්සයකු බවට පත්විය....කොටින්ම කිව්වොත් සිස්ස නායකයකු බවටද පත්විය.රිසාල්ට් ඇවිත් මා දියෝකුබදු සර් හමුවමට ගොස්, සර් මට ඒ එකක් තියනවා කී විට ඔහු සතුටින් මගේ අත මිරිකා ටික වෙලාවක් නිහඩව සිට පිටට තට්ටු දමමින් මං ඕක දැනං හිටියා යැයි කියූ හැටි මට හොදින් මතක ඇත.....

ඇත්තටම ඒ කාලයේ ගුරුවරු ගුටි ගසා හෝ අපිව මෙහෙම තැනකට ගෙනාපු එක ගැන මතක්වෙද්දි දැන්නම් මාර සතුටක් ඇත.නැත්නම් අද අපි මේ ඉන්නා තැනකවත් නැත.ඒ කාලේ මේ කුණුහරුපෙන් බැනපු කටවල් වලින්ම දැං හොද කියන්නෙ ගුරු වෘත්තියෙ තියන සාධු බලෙන් වෙන්න ඕන.ප්‍රයිමරියෙ ඉදං වලි වලට ගිහිං එකෙක්ගෙ බිජ්** පයින් ගහපු එකකට මගේ ඔලුව බිත්තියෙ හප්පලා මාව කබඩ් එකක දාල වහපු කරුණාරත්න ප්‍රින්සිපල් සර් වගේම (එතුමා සාමදානයේ සැතපෙන්න ඕන.අන්න සර්ලා) මට ගුටි බැට දීලා,අවවාද දීලා මාව හොද මගට ගත්තු ගුරුඋතුමන් හැමෝම නීරෝගීව,නිදුකින්, ඉන්න තැනක සැපෙන් සතුටින් ඉන්න ඕන කියලා මං මගේ හිත පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා.....
ඇත්තටම මට ආයිත් ඒ කාලෙට යන්න ඇත්නං...ආයිමත් ඒ වගේ පඩත්තර වැඩ කරන්න තියනවනං..............!!!

 

 ඉස්කෝලේ කාලෙදී ඇම්ඩා වැඩ කරපු එවුන්ට සෑහෙන්න රස,ලස්සන අතීතයක් තියනවා.එහෙම කරපු උන්...ඒ වගේම ඉස්කෝලෙ කාලෙ පීරියඩ් එකක්වත් කට් කරලා නැතිව රෙකෝඩ් තියලා ඉන්න උන් ටිකක් හරි ආයිමත් ඒ ලස්සන අතීතෙට ගියා නේද........................????

Friday, January 31, 2014

නාමල්ගේ ලිපි අංක 10 - දියවැඩියා රෝගීන් හා ඔවුන්ගේ දෙපා

දියවැඩියා රෝගීන් හා ඔවුන්ගේ දෙපා

                 ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටක බෝ නොවන රෝග අතුරින් ඉහලම ස්ථානයක සිටින්නේ දියවැඩියාව නොහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හදුන්වන මධුමේහයයි.ලංකාවේ එම අනුපාතය 3ට 1 කි.එනම් සෑම මිනිසුන් තිදෙනෙකුම අතුරින් එක් පුද්ගලයකුට දියවැඩියාව වැළදී ඇත.මේ රෝගයේ විශේෂත්වය වන්නේ සෑදීමට වයස් භේදයක් නොමැති වීම හා පූර්ණ ලෙස සුවයක් ලබා ගැනීමට නොහැකි වීමයි.
යම් පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත ප්‍රමාණයට වඩා ඉහල යාම දියවැඩියාව ලෙස සරලව හදුන්වනවා.මෙම රෝගය වැලදුනු අයගෙන් 50% ක් පමණ පෙර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඉතිරි 50% අතර පහත සදහන් රෝග ලක්ෂණ දැකිය හැක..

1.දිනකට සාමාන්‍ය ප්‍රමානයකට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම
2.වැඩිපුර වතුර බීමට යොමුවීම (ඉහත කරුණු දෙක දවසේ ඕනෑම වෙලාවක වලංගු වේ)
3.කෙටි කලක් තුල ශරීරය කෙට්ටු වීම හා බර අඩුවීම
4.අධික ලෙස විඩාපත් බව හා එකදිගට යම් වැඩක් කිරීමේදී දැඩි තෙහෙට්ටු ගතියක් ඇතිවීම
5.ඉවසිලි මදිවීම හා යම් කෙටි කරුණක් නිසා දැඩි කේන්තියක් ඇතිවීම
6.ඇස් පෙනීම දුර්වල වීම
7.ආහාර රුචිය වැඩිවීම (පැණිරස අහර වලට වැඩි ප්‍රියත්වයක් දැක්වීම)
8.ලිංගික අප්‍රාණිකත්වය
9.තොල කට වියලී යාම සහ ශරීරයේ වියලි බව
10.සෑදෙන තුවාල සුව වීමට වැඩි කාලයක් ගතවීම
11.ඇස් වල ග්ලූකොමා තත්වයන් ඇතිවීම නිසා පෙනීමට බාධා ඇතිවීම

රුධිර පරීක්ෂණයක් මගින් දියවැඩියාව වැලදී ඇතිබව ඉතා නිවරදිව දැන ගත හැක.

දියවැඩියාව වැළදීමට බලපාන කරුණු හා වැළදීමේ හැකියාව වැඩි පුද්ගලයන්

1.තම පවුලේ පියාට හෝ මවට රෝගය වැළදී ඇති අයට මෙම රෝගය තමාට වැළදීමේ ඉතා වැඩි සම්භාවිතාවක් ඇත
2.අවුරුදු 35ට වැඩි පුදුගලයන්
3.ගර්භනී අවධියේ පසු වන කාන්තාවන්
4.මානසික ආතතියෙන් දිනපතා තම වැඩකටයුතු කරගෙන යන පුද්ගලයන්
5.තරබාරු අය සහ නිතර කෘතීම බීම වර්ග පානය කරන පුද්ගලයන්
6.සීනි,පිටි හා තෙල් පරිභෝජනය වැඩි පුද්ගලයන්

දියවැඩියා රෝගීන්ට නිර්දේශ කරන Metformin, Rosiglitazone, Sitagliptin ආදී
බෙහෙත් පෙති වර්ග වල පසු කාලීන සංකූලතා (after effects)  බොහොමයක් ඇත.ඒවා අතර ප්‍රධාන වන්නේ වකුගඩු වලට ඇති කරන හානියයි.

දියවැඩියාවෙන් වැළකීමට නම්,

1.වෛද්‍ය උපදෙස් මත ආහාර පාළනය සිදු කිරීම
2.සතියට දින 3ක් 4ක් වත් ඇග වෙහෙසෙන ව්‍යායාම සිදුකිරීම (හැල්මේ දිවීම,බයිසිකල් පැදීම,පිහිනීම,....)
3.ආතතිය රෝගය වැළදීමට එක් ප්‍රධාන හේතුවක් බැවින් ආතතියෙන් වැළකීම
4.කෘතීම,පැණිරස ආහාර වලින් හැකි තාක් ඈත් වීම
5.ස්වාභාවික තන්තු ප්‍රමාණ වැඩි ආහාර,නැවුම් පළතුරු,පළා වර්ග ආහාරයට නිතිපතා එක් කිරීම


දියවැඩියාව නිසා ඇතිවන පසු සංකූලතා.....

අංශභාගය
රුධිර නාල තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීමත් අධි රුධිර පීඩනය වැළඳීමේ ප්‍රවනතාවත් වැඩි නිසා දියවැඩියා රෝගීන්ට අංශභාගය වැළඳීමේ ප්‍රවනතාව ද වැඩියි.
හෘදයාබාධ
හෘදය තුළ ඇති රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමත් අධි රුධිර පීඩනයට එරෙහිව හෘදය ක්‍රියාත්මක වීමත් නිසා හෘදය දුර්වල වීමද සිදුවෙනවා.
වකුගඩු අකර්මන්‍ය වීම
දියවැඩියාව නිසිලෙස පාලනය නොකළහොත් රුධිරයේ ඇති අධික ග්ලූකෝස් මුත්‍රා සමඟ පිට කිරිම සඳහා වැඩිපුර මුත්‍රා තැනීමට සිදුවෙනවා. මේ සඳහා වකුගඩුවලට වැඩි වෙහෙසක් ගැනීමට සිදුවීම නිසා වකුගඩු අකර්මන්‍ය වෙනවා.
අක්ෂි දුර්වල වීම
ඇසේ සුද ඇතිවීම, ඇසේ පීඩනය වැඩිවීම හෙවත් ග්ලූකෝමා ඇතිවීම, ඇසේ රුධිර නාල සහ ස්නායු දුර්වල වීම නිසා දෘෂ්ඨි විතානයට හානි පැමිණීමෙන් අන්ධභාවය ඇති වෙනවා.
පාදවල තුවාල
පාදවල ස්නායු දුර්වල වීම නිසා දැනුම් තේරුම් නොමැති වීම, රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඉන් එහාට රුධිරය ගමන් නොකිරීම හේතුවෙන් තුවාල සුවවීම ප්‍රමාද වීම සහ රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ඉහළ යාම නිසා එම ස්ථානවල විෂබීජ සීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් තුවාල සුවවීමේ ප්‍රවනතාව අඩුවෙනවා.
ලිංගාශ්‍රිතව ඇතිවන තත්ත්ව
මුත්‍රා සමඟ සීනි පිටවීම නිසා ලිංගික ප්‍රදේශයේ මුත්‍රා තැවරීම හේතුවෙන් ශිෂ්ණය සහ යෝනි ප්‍රදේශයේ කැන්ඩි ඩයිසීස් හෙවත් උල්ලෝගම් වැනි පුස් රෝග ඇතිවිය හැකියි.
අවග්ලූකෝසියාව
දියවැඩියා රෝගියෙක් වැරදීමකින් හෝ ඖෂධ වැඩිපුර ගතහොත් හෝ අධික ලෙස ව්‍යයාම කළ හොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වී අව ග්ලූකෝසියාව හෙවත් හයි පෝග්ලයිසීමියාව ඇතිවෙනවා. එවන් අවස්ථාවකදී රෝගියාට දහඩිය දැමීම, අධික බඩගින්න සහ හෘදය වේගයෙන් ගැහෙන තත්ත්ව ඇතිවිය හැකියි. මෙහිදී ප්‍රතිකාර ලෙස සීනි, තේ හැදි 02ක් ලබාදීම, ග්ලූකෝස් තේ හැන්දක් හෝ චොකලට් කැබැල්ලක්, ටොෆියක් ලබා දීම කළ යුතුයි.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
සංවේදී අය පහත රූප බැලීමෙන් වලකින්න

දියවැඩියා රෝගීන්ගේ පාදවල තුවාල
ඉහත සදහන් පරිදී රුධිර නාළවල අහිතකර මේද තැන්පත් වීම නිසා රුධිර සැපයුමට බාධා ඇතිවේ,එම නිසා ශරීරයේ කොතනක හෝ ඇතිවන තුවාල (පාදවල විශේෂයෙන්) සුවවීමට ඉතා වැඩි කාලයක් ගතවේ,තවද ඉතා දැඩි විශබීජ වර්ධනය නිසා ඇතිවන සුලු තුවාලයකින් සමහර විට ඒ ශරීර අංගය කපා ඉවත්කිරීමට තරම් තත්වය බරපතල විය හැක.



  පාදවල ඇතිවන තුවාල






කුඩා සීරීමකින් පටන් ගන්නා මෙවන් තුවාල දියවැඩියා රෝගීන්ගේ ජීවිතය සහමුලින්ම අඩාල කිරීමට පවා සමත්ය.වෛද්‍යවරු පවසන්නේ දියවැඩියා රෝගීන් තම දෙපා තමාගේ මුහුන මෙන් පවත්වා ගෙන යා යුතු බවයි.මේ සදහා,
1.නිතරම තම දෙපා පිරිසිදුව,වියළිව කබා ගැනීම
2.දිනපතාම තම දෙපා ඉතා හොදින් නිරීක්ෂණයට ලක් කිරීම
3.සුලු හෝ සීරුමක් ඇත්නම් නොපමාව අවශ්‍ය ප්‍රතිකාර ගැනීම
4.සෑම විටම දෙපා ආවරනය වන සේ සපත්තු පැළදීම(දෙපා හා සපත්තු අතර ඝර්ෂණය අවම කිරීමට මෘදු සම් පැඩින් වර්ග යෙදීම වඩාත් සුදුසු වේ)

5.දිනපතා පාද සදහා ව්‍යායාම කිරීම හා නින්දට යාමට පෙර උණු වතුරින් දෙපා සම්භාහනය කිරීම


පාදවල ඇතිවන තුවාල ගණන් නොගැනීමෙන්,



දියවැඩියාව නම් වූ නිහඩ මාරයාගෙන් වැළකීමට අද සිටම ඔබත් ඔබේ චර්‍යා රටාව වෙනස් කරගන්න.....

ඡායාරූප ගූගල් අනුසාරයෙන්.සමහර විස්තර දිනමිණ පත්‍රයකින්

Sunday, January 19, 2014

නාමල්ගේ ලිපි අංක 9 - නීතිය කාටද?රකින්නෝ කුමටද?

නීතිය කාටද?රකින්නෝ කුමටද?

කාලෙක ඉදං ලියන්න හිතේ තියං එකක් තමයි මේ ලියවෙන්නෙ.සහෝදර බ්ලොග් අඩවි කීපයකම මේ සම්බන්ධව ලිපි කීපයක් දැකපු හන්දා තමයි මේකම දාන්න ඕන කියලා හිතුනෙ.මෙන්න ඒ ලිපි.....

1. ප්‍රියා අයියගෙ පොලෝසිය හොරු සමග හෙළුවෙන් ………
2. අවන්හලේ පොලිසිය... ලංකාවේ අපෙ පොලිසිය..-01
3.ඔමා අක්කගෙ පොලිස් කේස් එකක්

 වැඩි කතා ඕන නෑ.මෙන්න මේකයි උනේ.මුලින්ම කියන්න ඕන පොලිස් සේවයේ අවංකව,නීතිගරුකව තම රාජකාරිය කළට වෙලාවට නිසි අයුරින් ඉටු කරන සියලු නිළධාරීන්හට මේ ලිපිය අදාල නොවේ.ඉහත සදහන් නොවූ අනිත් අවශේෂ කුලක සදහා මෙය වලංගු වේ.මුලින් සදහන් කළ උතුමන්ට අපගේ නිබද ගෞරවය හිමිවන අතර රට,රාජකාරිය වෙනුවෙන් කරන කැපවීම උතුම් කොට සළකමු.

කැම්පස් කොලුවකු සමග එකට නර්ථනයේ යෙදෙන විනයගරුක නිළධාරී උතුමෙක්
උදෑසන ශරීර සුවතා වල නිරතවන ක්‍රීඩාකාරී උතුමන් පිරිසක්

අද නීතිය බල්ලට ගොස් ඇතැයි එදිනෙදා දකින අසන පුවත් වලින් මනාව පැහැදිලි වේ.තරු සහිත පොලිස් මහත්හොරු තම දරුවන් සමග එකට හිරේ ඉන්නා පුවත් පසුගිය කාලයේදී මහත් ජනප්‍රිය විය.අල්ලස් ගැනීම්,විවිධ අපචාර,දූෂණ චෝදනා,සොරකම් ආදිය දැන් සාමාන්‍ය සිද්ධීන් වේ.මේ සා චෝදනා පොලීසියට එල්ල නොවේනම් අන්න එදාට අප සිටින්නෙ ආසියාවේ ආශ්චර්ය තුලය.අඩු කාලයකින් නවීන පන්නයේ ඉතා වටිනා නිවසක් සාදාගැනීමට නම් ට්‍රැෆික් පොලීසියට හෝ සුරාබදු ඒකකයට රාජකාරී කිරීමට පැනීම ඉතා සුදුසු බව රට්ටු පවසන අයුරු කිහිප වතාවක්ම මගේ කනට ඇසී ඇත.නීතිය සුරකීමට පත්කල ඇති එම නිළධාරීන් තම රාජකාරිය අවංකව ඉටු නොකළහොත් රටේ පවතින නීති පද්ධතිය පිළිබද මහජන විශ්වාසය බිද වැටීම වැලැක්වීම වයිමාටද කළ නොහැකි දෙයකි.පහත සිද්ධිය දෙස බලන්න...

දිනය - 2013/12/26
වේලාව - දහවල් 1ට පමණ
ස්ථානය - පොලොන්නරුව කදුරුවෙල දුම්රිය ස්ථානය ඉදිරිපිට
සිද්ධිය - දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති කහඉර මත රාජකාරියේ නියුතු පොලිස් නිළධාරියාගේ මිතුරකු මෝටර් සයිකලයකින් පාරේ ගමන් කරනු එම නිළධාරියා දැකීම,ඔහුව කහඉර මත නතර කිරීම,විහිලු තහලුවෙන් ඔහු සමග කහඉර මතදීම විනාඩි කිහිපයක් ගතකිරීම,පාරේ වාහන තදබදයක් ඇතිවීම,පසුපසින් ආ බස් රථ රියදුරකුගේ නළා හඩින් කුපිත වූ අනිත් නිළධාරියා එම රියදුරුට බැන වැදීම හා වාහන රියදුරන්ගේ නළා හඩ මධ්‍යයේ නිළධාරීතුමා තම මිතුරාට සමුදීම

එම අවස්ථාව
එම නිළධාරියා සහ පාරේ සිටිනා සිව්පාවා අතර වෙනස = පිළිතුර ඔබ තීරණය කරන්න

එම පොලිස් නිළධාරියාගේ රාජකාරි අංකය - 50559 

එම නිළධාරියා අතින් සිදුවූ වැරදි/අඩුපාඩු (මට හැගෙන පරිදී) -

1.කහඉර මත වාහන නැවැත්වීමට අනුබල දීම
2.කහඉර මත නැවැත්වූ වාහනයේ රියදුරු වරදකරුවකු නොකර නිදහස් කර යැවීම
3.තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම හා පැහැර හැරීම
4.මාර්ගය මත අනතුරක් සිදුවීමට ඉඩක් සැපයීම
5.කහඉර මත පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු නොකිරීම
6.අන් අයගේ වටිනා කාලය අපතේ යැවීම
7.නීතිය රකින්නන් පිළිබද නරක ආදර්ශයක් සැපයීම


වෙන කවුරුහරි අහිංසක මනුස්සයෛක්ගෙ බයික් එකක් කහඉර උඩ වැරදිලාවත් නැවතුනොත් පොලිස් මහත්වරු ඒ මනුස්සයව ඉතුරු කරන්නනෙ නෑ.මේක දැකපු ගමන් මට හිතුනෙ මෙන්න මේ දේ විතරයි.නීතිය කාටද? රකින්නෝ කුමටද?

මං බොහොම ප්‍රො‍පෙසනල් විදියට තමයි උක්ත ආක්කියාතෙ ගලපලා ඔය උඩ ටික ලියන්න ට්‍රයි කලේ.ඒකෙත් පොඩි අයිටම් එකක් තියනවා බලන් යනකොට....
 
පොලිස් කියන වචනෙ ලොකු තේරුමක් තියනවා.මෙන්න ඒ තේරුම
Polite - ශිෂ්ට/ආචාරශීලී
Obedient - යටහත්/ශික්ෂිත
Loyal - දේශප්‍රේමී/ලෙන්ගතු
Intelligent - දැණුම් තේරුම් ඇති/ප්‍රඥාවත්
Courageous - එඩිතර/ධෛර්යසම්පන්න
Efficient - ක්‍රියාශූර/කාර්යක්ෂම


පොලිස් නිළධාරියෙක් උනාම ඔන්න ඔය උඩ තියන ගති ලක්ෂණ තියෙන්න ඕනලු.පාරෙ යන පොලොස් මහත්තයෙක්ගෙන් එහෙම අහලා ලාවට කන පලා ගත්තොත් ඔන්න මමනං නෑ.


අනාගතේ පොලිස් කියන වචනෙ මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඉඩ තියේලු


අදත් විමසුම පිටපත !@#$%^ ගෙන්..............හැක හැක......!!

මේක ලියලා පබ්ලිෂ් කරාට පස්සෙ මං ගැන ආරංචියක්වත් නැති උනොත් අහිංසක අපේ අම්මටයි තාත්තටයි මේක කියවපු උන් මේ ගැන කියපල්ලා.....සුදු වෑන් මට හීනෙන් නොපෙනේවා......!!!
____________________________________________________

                        Papaa Palace........!!


දකුණුලක තංගල්ල නගරයේ මැදකැටිය පාරේ සුන්දර වෙරළතීරයට ආසන්නව පසුගිය 16 වැනිදා අභිනවයෙන් ආරම්භ වූ හොටල් පපා පැලස් ආයතනයට මල් මල් අඩවියෙන් උණුසුම් සුභ පැතුම්.........!!!

ඔබට මෙහිදී ලබාගත හැකි සේවාවන් කිහිපයක්.....

1.RESTAURANT

2.GARDEN CAFE

3.BUSINESS CENTER

4.PARKING & TRANSPORT

5.SPA

6.FOOD

7.ROOMS

8.FREE WIFI

ඉදිරිපස දර්ශනය

සුන්දර වෙරළ තීරයට ආසන්නවම

නවීන පන්නයේ සම්භාෂණ ශාලාව

සුව පහසු ආරක්ෂිත නිදන කාමර

ප්‍රනීත සෞඛ්‍ය ආරක්ෂිත ආහාරපාන
ආයුර්වේද ස්පා


ඉදිරිපස දර්ශන

 වැඩිදුර විස්තර........

1.පපා පැලස් ෆේස් බුක් පිටුව https://www.facebook.com/tangallepapaapalacehotel

2.නිළ වෙබ් අඩවිය http://tangallepapaapalacehotel.com/

3.දුරකතන අංකය - +94472240046

සිතියමෙන්

 

 



Thursday, January 2, 2014

නාමල්ගේ ලිපි අංක 8 - මනුස්සකම Vs හොර හිත

මනුස්සකම Vs හොර හිත

   සෑහෙන්න කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා.නෙට් ආවට අනිත් අයගෙ බොග කියව කියව ඒවට හොට දදා හිටිය එක විතරයි කොලේ.වෙන මුකුත් හින්දම නෙමෙයි,ඇග පුරාම හිත පුරාම තිබුන කම්මැලිකම තමයි මේකට වග කියන්න ඕන.අඩෝ ගල් ඉබ්බා වගේ කම්මැලි වෙන්නෙ නැතිව මුකුත් ලියපා....න්... උඩු හිත යටි හිතට මෙහෙම කොච්චර නම් කියන්න ඇතිද?? බැරිම තැන තමයි මේ ලියන්න ගත්තේ.කාගෙන් උනත් හැමදාමත් බැනුම් අහන්ට පුලුවනැ... හා නැද්ද හා....????

ගෙදර ඉන්න තුතිල මල්ලිගෙ සාපෙ ඉවර නිසා (සාමාන්නිය පෙළ හොදේ) ආච්චි අම්මා දවස් දෙක තුනකට බෙලිඅත්තෙ ගියා රත්මලානෙ ගෙදර හිටියෙ මල් කොලුව විතරයි.තනියම ඉන්න කොට උයන්න එපා වෙනව නෙව,ඉව්වත් ඉතිං පරිප්පුයි සම්බලුයි,සම්බලුයි පරිප්පුයි තමයි.තුන් වේලට හැමදාමත් ඕවා කන්න පුලුවනැයි මනුස්සයෙකුට.(තව ඒවා හදන්න දන්නවා හරිය,ඒත් ඉතිං කම්මැලිකම මුදලිකමටත් වැඩිය ලොකුයි කියනවනෙ).ඉතිං ඔන්න උයලා එපා උන දවසට පුරුද්දට වගේ හැමදාම යන්නෙ රත්මලානෙ ගොලුමඩම හන්දියට කිට්ටුවෙන් තියන රෙක්ස් මාවතට හැරෙනකොටම තියන චන්දන බේක් හවුස් එකට.අතේ තියන ගානට පිරිසිදුව ගමේ කමට බත් කටක් බඩට දාගන්න පුලුවන් මං දන්න රත්මලානෙ හොදම තැන තමයි එතන.

ඔන්න ඉතිං එහෙම එපා උන දවසක තමයි මේක උනේ.උදේට බඩ පැලෙන්න කඩෙන් කාලා චිත්තර පිටියක් එහෙම බලලා හොද සනීපෙට නින්දක් දාලා දවල් තුනට විතර ආයිමත් අවදි උනා.දැන් ඉතිං ආයිමත් බඩගිනී.කරකවලා ගත්තා මගේ නිළ වාහනේ.(නිළ වාහනෙන් ගියපු තවත් ගමනක් ගැන මෙතනින් ගිහින් කියවන්න).
 අදාල තැනට ගිහින් පුටාර් එක කඩේ ඉස්සරහම නවත්තලා මං ඇතුලට ගියා.කඩේ තියන තඩි කිඹුලන්ට වහ වැටිලා මං ගොඩක් දවසට යන එන හන්ද කඩේ ඉන්න මනුස්සයො මං ගැන හොදට දන්නවා.දත් තිස් දෙක දාලා මාව පිළිගත්තට පස්සෙ මං බත් එකක් අරගෙන පැත්තක පුටුවකට වෙලා නිදහසේ බුදින්න පටන් ගත්තා.බාගයක් විතර කනකොට අවුරුදු 40ක විතර අහිංසක වගේ කෙට්ටු පුංචි පෙනුමක් තියන මනුස්සයෙක් පොල් කේක් එකකුත් අරන් මගේ ඉස්සරහින් වාඩි උනා.කාට උනත් නොමිලේ දෙන්න පුලුවන් එක මං ඉතිං මනුස්සකමට දුන්නා (මොකවත් නෙමෙයි හිනාවක් හරිය මේක කිවුවෙ නැත්නම් පාරක බැහැල යන්න වෙන්නෙ නෑ).ඒ මනුස්සයත් අහිංසක විදියට හිනා උනා.

තව ටිකක් ගියාම අර මනුස්සයා මහත්තයෝ මට උදව්වක් කරන්න කිවුවා.මං ඇහුවා ඒ මොටෝ කියලා.මං දෙහිවල අලුත හදන බිල්ඩිමක මේසන් බාස් කෙනෙක් මං බස් එකේ ගෙදර යන්න එද්දි මගේ පඩි සල්ලිත් එක්ක පර්ස් එක පික්පොකට් ගහලා කියපි නැතා.මුකුත් උදේ ඉදං කාලා නෑ කියලා කිව්වම පාරෙ ඉන්න මහත්තයෙක් මොනවා හරි කන්න කියලා දුන්නු රුපියල් පනහෙන් තමයි මං මේක කන්නෙ කියලා දුක මූනක් දාන් කිව්වා.වැඩ කරන තැනට යා ගන්නවත් සල්ලි නෑ කිව්වා.මනුස්සකමට මගේ පපුව හෝස් ගාලා දාලා ගියා.ගිලින්න ගත්ත බත් කටත් හිර උනා.කඩේ අයියට කියලා තව බත් එකක් මං මිනිහට ගෙන්නවලා දුන්නා.ඒක හම්බුනා විතරයි මාස ගානක් සාගතේ හිටපු එකෙක් වගේ කාගෙන කාගෙන යන්න ගත්තා.මං මිනිහට හෙමිං කන්න කියලා මං කාලා ඉවර හන්ද නැගිටලා ගිහින් මිනිහටත් එක්ක බිල ගෙව්වා.ඉතිරි සල්ලි වලින් දෙහිවලට යා ගන්න රුපියල් සීයකුත් අර මනුස්සයට දුන්නා.මුදලාලිත් එක්ක චැට් පාරකුත් දාල (හැමදාම වගේ කිඹුලා බනිස් ගන්න එන හන්ද මුදලාලිටත් මාව හෙනට පුරුදුයි.මං දැක්ක ගමන් අදත් කිඹුලද කන්නෙ අහනවා).පුටාර් එක දිහත් පත්තරේ අරන් එනකං ඇහැ දාන් ඉන්න කියලා මුදලාලිට කියලා ඒක එහෙම්ම තියලා ගොලුමඩම හන්දියෙ තියන පත්තර කඩෙන් පත්තරේකුත් අරන් ආයිමත් මං බේකරිය ලගට ඇවිදන් ආවා.සයිකලෙත් අරන් එතනින්ම දාලා රෙක්ස් මාවතෙන් ගෙදර තියන කල්දෙමුල්ල පාරට යන එක තමයි මට ලග.

මං කඩේ ලගට එනකොට අර මනුස්සයා කැෂියර් එක ලග.සල්ලි නෑ කිව්ව එකා මේ මොකක් කරන්න හදනවද කියලා එලියෙ වීදුරුවෙන් මං බලන් හිටියා.මෙන්න බොලේ අර සල්ලි නෑ කියපු මනුස්සයා කඩෙන් විටමින් කූරු ගන්නවා, අරන් බෑග් එකෙන් පර්ස් එකක් ඇදලා අරන් මුදලාලිට මොනරෙක් දික් කලා.අම්මටඋඩු දැන් මගේ ඇගේ මාලු උඩ පැන පැන මට කෝචෝක් එකට නටනවා.දැන් මූට මුදලාලි ඉතිරි සල්ලි දෙනකම් එලියෙ වීදුරුවෙන් බලන් ඉදලා මං ඇතුලට ගිහින් ඌව කූරු පැකට් එකත් අතේ තියෙද්දිම ඇදලා අරන් කඩේම පුටුවක් උඩින් වාඩි කෙරෙව්වා.මං දැක්ක විතරයි මූට සිහියක් නෑ.මං උගේ අතිං තද කරන් අල්ලන් මෙහෙ දීපිය පර්ස් එක කිව්වා.මිනිහා මගෙන් බාගයක් විතර ඇති.මට දැන් සෑහෙන්න කේන්තී ඇයි මූ මට තනි බො යන්නනෙ දැම්මෙ.නෑ මහත්තය මං මේ.....කියලා කියන්න ආවා.වහපිය කට පරයා කියලා මං සයිස් කරා.යකෝ මනුස්සකමට මං කරාට මේ ප**ට තිබිලා තියෙන්නෙ මහ හොර හිතක් නෙව.ඒකයි මට යකා නැග්ගෙ.පර්ස් එක බැලුවම තව පන්සිය ගානක් තිබ්බා.බෑග් එක ඇරපුවම ගල් බොතලේකුයි පාං ගෙඩියකුයි අලුත් පොත් දෙක තුනකුයි තිබුනා.අනේ තාත්තෙ අදනම් මට මං ඉල්ලපු පොත් ගෙනත් දෙන්න කියලා වැරහැලි ඇදගත්ත පොඩි එකෙක් මූට කියනවා මට මැවිලා ගියා ඒ විතරක් නෙමෙයි අදවත් රෑට පොඩි උන්ට කන්න දෙන්න පාං ගෙඩියක්වත් ගේන්න කියලා ගෑණු මනුස්සයෙක් කියනවා මට මගේ හිතේ මැවිලා ගියා.මොකක් කරන්නද ඉතිං.පොත් ටිකයි පාං ගෙඩියයි දැක්කහම ආයිමත් මගේ මනුස්සයා අවදි උනා.ආයිමත් මේ වගේ වැඩ කරලා අහු උනොත් තොගේ හතර හංදි කඩනවා කියලා සද්දෙකුත් දාලා කිඹුලා බනිස් එකකුත් අරන් මං ආයිමත් ගෙදර ආවා.

ගෙදර ඇවිල්ලත් නිකන් අමුතු හැගීමක් මට වද දෙනවා.නිකං කරන්නම තිබුනු වැඩක් නොකර මග ඇරියා වගේ කියලා.ඒ තමයි අරූගේ කන රත්වෙන්න දෙකක් දෙන්න බැරි උන එක.මේක වෙලා ටික දවසක් උනත් මේ ලියන වෙලාවෙත් ඒක මට දැනෙනවා.මං රවට්ටන කෙනෙක්ට මං කවදාවත් සමාව දෙන්නෙ නෑ.ඒත් ඉතිං අර පොත් ටිකයි පාං ගෙඩියයි මතක් උනාම මං ඒ මනුස්සයට දෙකක් අනින්නෙ නැතිව අත ඇරපු එකටත් සතුටුයි.ඒත් ඒක මහ කියාගන්න බැරි අමුතුම හැගීමක්.මනුස්සකමින් අයුතු ලෙස ප්‍රයෝජන ගන්න උන් එමටයි කියන එකනම් මං මගේ ජීවිතේට පාඩමක් විදියට එකතු කර ගත්තා.