Thursday, January 2, 2014

නාමල්ගේ ලිපි අංක 8 - මනුස්සකම Vs හොර හිත

මනුස්සකම Vs හොර හිත

   සෑහෙන්න කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා.නෙට් ආවට අනිත් අයගෙ බොග කියව කියව ඒවට හොට දදා හිටිය එක විතරයි කොලේ.වෙන මුකුත් හින්දම නෙමෙයි,ඇග පුරාම හිත පුරාම තිබුන කම්මැලිකම තමයි මේකට වග කියන්න ඕන.අඩෝ ගල් ඉබ්බා වගේ කම්මැලි වෙන්නෙ නැතිව මුකුත් ලියපා....න්... උඩු හිත යටි හිතට මෙහෙම කොච්චර නම් කියන්න ඇතිද?? බැරිම තැන තමයි මේ ලියන්න ගත්තේ.කාගෙන් උනත් හැමදාමත් බැනුම් අහන්ට පුලුවනැ... හා නැද්ද හා....????

ගෙදර ඉන්න තුතිල මල්ලිගෙ සාපෙ ඉවර නිසා (සාමාන්නිය පෙළ හොදේ) ආච්චි අම්මා දවස් දෙක තුනකට බෙලිඅත්තෙ ගියා රත්මලානෙ ගෙදර හිටියෙ මල් කොලුව විතරයි.තනියම ඉන්න කොට උයන්න එපා වෙනව නෙව,ඉව්වත් ඉතිං පරිප්පුයි සම්බලුයි,සම්බලුයි පරිප්පුයි තමයි.තුන් වේලට හැමදාමත් ඕවා කන්න පුලුවනැයි මනුස්සයෙකුට.(තව ඒවා හදන්න දන්නවා හරිය,ඒත් ඉතිං කම්මැලිකම මුදලිකමටත් වැඩිය ලොකුයි කියනවනෙ).ඉතිං ඔන්න උයලා එපා උන දවසට පුරුද්දට වගේ හැමදාම යන්නෙ රත්මලානෙ ගොලුමඩම හන්දියට කිට්ටුවෙන් තියන රෙක්ස් මාවතට හැරෙනකොටම තියන චන්දන බේක් හවුස් එකට.අතේ තියන ගානට පිරිසිදුව ගමේ කමට බත් කටක් බඩට දාගන්න පුලුවන් මං දන්න රත්මලානෙ හොදම තැන තමයි එතන.

ඔන්න ඉතිං එහෙම එපා උන දවසක තමයි මේක උනේ.උදේට බඩ පැලෙන්න කඩෙන් කාලා චිත්තර පිටියක් එහෙම බලලා හොද සනීපෙට නින්දක් දාලා දවල් තුනට විතර ආයිමත් අවදි උනා.දැන් ඉතිං ආයිමත් බඩගිනී.කරකවලා ගත්තා මගේ නිළ වාහනේ.(නිළ වාහනෙන් ගියපු තවත් ගමනක් ගැන මෙතනින් ගිහින් කියවන්න).
 අදාල තැනට ගිහින් පුටාර් එක කඩේ ඉස්සරහම නවත්තලා මං ඇතුලට ගියා.කඩේ තියන තඩි කිඹුලන්ට වහ වැටිලා මං ගොඩක් දවසට යන එන හන්ද කඩේ ඉන්න මනුස්සයො මං ගැන හොදට දන්නවා.දත් තිස් දෙක දාලා මාව පිළිගත්තට පස්සෙ මං බත් එකක් අරගෙන පැත්තක පුටුවකට වෙලා නිදහසේ බුදින්න පටන් ගත්තා.බාගයක් විතර කනකොට අවුරුදු 40ක විතර අහිංසක වගේ කෙට්ටු පුංචි පෙනුමක් තියන මනුස්සයෙක් පොල් කේක් එකකුත් අරන් මගේ ඉස්සරහින් වාඩි උනා.කාට උනත් නොමිලේ දෙන්න පුලුවන් එක මං ඉතිං මනුස්සකමට දුන්නා (මොකවත් නෙමෙයි හිනාවක් හරිය මේක කිවුවෙ නැත්නම් පාරක බැහැල යන්න වෙන්නෙ නෑ).ඒ මනුස්සයත් අහිංසක විදියට හිනා උනා.

තව ටිකක් ගියාම අර මනුස්සයා මහත්තයෝ මට උදව්වක් කරන්න කිවුවා.මං ඇහුවා ඒ මොටෝ කියලා.මං දෙහිවල අලුත හදන බිල්ඩිමක මේසන් බාස් කෙනෙක් මං බස් එකේ ගෙදර යන්න එද්දි මගේ පඩි සල්ලිත් එක්ක පර්ස් එක පික්පොකට් ගහලා කියපි නැතා.මුකුත් උදේ ඉදං කාලා නෑ කියලා කිව්වම පාරෙ ඉන්න මහත්තයෙක් මොනවා හරි කන්න කියලා දුන්නු රුපියල් පනහෙන් තමයි මං මේක කන්නෙ කියලා දුක මූනක් දාන් කිව්වා.වැඩ කරන තැනට යා ගන්නවත් සල්ලි නෑ කිව්වා.මනුස්සකමට මගේ පපුව හෝස් ගාලා දාලා ගියා.ගිලින්න ගත්ත බත් කටත් හිර උනා.කඩේ අයියට කියලා තව බත් එකක් මං මිනිහට ගෙන්නවලා දුන්නා.ඒක හම්බුනා විතරයි මාස ගානක් සාගතේ හිටපු එකෙක් වගේ කාගෙන කාගෙන යන්න ගත්තා.මං මිනිහට හෙමිං කන්න කියලා මං කාලා ඉවර හන්ද නැගිටලා ගිහින් මිනිහටත් එක්ක බිල ගෙව්වා.ඉතිරි සල්ලි වලින් දෙහිවලට යා ගන්න රුපියල් සීයකුත් අර මනුස්සයට දුන්නා.මුදලාලිත් එක්ක චැට් පාරකුත් දාල (හැමදාම වගේ කිඹුලා බනිස් ගන්න එන හන්ද මුදලාලිටත් මාව හෙනට පුරුදුයි.මං දැක්ක ගමන් අදත් කිඹුලද කන්නෙ අහනවා).පුටාර් එක දිහත් පත්තරේ අරන් එනකං ඇහැ දාන් ඉන්න කියලා මුදලාලිට කියලා ඒක එහෙම්ම තියලා ගොලුමඩම හන්දියෙ තියන පත්තර කඩෙන් පත්තරේකුත් අරන් ආයිමත් මං බේකරිය ලගට ඇවිදන් ආවා.සයිකලෙත් අරන් එතනින්ම දාලා රෙක්ස් මාවතෙන් ගෙදර තියන කල්දෙමුල්ල පාරට යන එක තමයි මට ලග.

මං කඩේ ලගට එනකොට අර මනුස්සයා කැෂියර් එක ලග.සල්ලි නෑ කිව්ව එකා මේ මොකක් කරන්න හදනවද කියලා එලියෙ වීදුරුවෙන් මං බලන් හිටියා.මෙන්න බොලේ අර සල්ලි නෑ කියපු මනුස්සයා කඩෙන් විටමින් කූරු ගන්නවා, අරන් බෑග් එකෙන් පර්ස් එකක් ඇදලා අරන් මුදලාලිට මොනරෙක් දික් කලා.අම්මටඋඩු දැන් මගේ ඇගේ මාලු උඩ පැන පැන මට කෝචෝක් එකට නටනවා.දැන් මූට මුදලාලි ඉතිරි සල්ලි දෙනකම් එලියෙ වීදුරුවෙන් බලන් ඉදලා මං ඇතුලට ගිහින් ඌව කූරු පැකට් එකත් අතේ තියෙද්දිම ඇදලා අරන් කඩේම පුටුවක් උඩින් වාඩි කෙරෙව්වා.මං දැක්ක විතරයි මූට සිහියක් නෑ.මං උගේ අතිං තද කරන් අල්ලන් මෙහෙ දීපිය පර්ස් එක කිව්වා.මිනිහා මගෙන් බාගයක් විතර ඇති.මට දැන් සෑහෙන්න කේන්තී ඇයි මූ මට තනි බො යන්නනෙ දැම්මෙ.නෑ මහත්තය මං මේ.....කියලා කියන්න ආවා.වහපිය කට පරයා කියලා මං සයිස් කරා.යකෝ මනුස්සකමට මං කරාට මේ ප**ට තිබිලා තියෙන්නෙ මහ හොර හිතක් නෙව.ඒකයි මට යකා නැග්ගෙ.පර්ස් එක බැලුවම තව පන්සිය ගානක් තිබ්බා.බෑග් එක ඇරපුවම ගල් බොතලේකුයි පාං ගෙඩියකුයි අලුත් පොත් දෙක තුනකුයි තිබුනා.අනේ තාත්තෙ අදනම් මට මං ඉල්ලපු පොත් ගෙනත් දෙන්න කියලා වැරහැලි ඇදගත්ත පොඩි එකෙක් මූට කියනවා මට මැවිලා ගියා ඒ විතරක් නෙමෙයි අදවත් රෑට පොඩි උන්ට කන්න දෙන්න පාං ගෙඩියක්වත් ගේන්න කියලා ගෑණු මනුස්සයෙක් කියනවා මට මගේ හිතේ මැවිලා ගියා.මොකක් කරන්නද ඉතිං.පොත් ටිකයි පාං ගෙඩියයි දැක්කහම ආයිමත් මගේ මනුස්සයා අවදි උනා.ආයිමත් මේ වගේ වැඩ කරලා අහු උනොත් තොගේ හතර හංදි කඩනවා කියලා සද්දෙකුත් දාලා කිඹුලා බනිස් එකකුත් අරන් මං ආයිමත් ගෙදර ආවා.

ගෙදර ඇවිල්ලත් නිකන් අමුතු හැගීමක් මට වද දෙනවා.නිකං කරන්නම තිබුනු වැඩක් නොකර මග ඇරියා වගේ කියලා.ඒ තමයි අරූගේ කන රත්වෙන්න දෙකක් දෙන්න බැරි උන එක.මේක වෙලා ටික දවසක් උනත් මේ ලියන වෙලාවෙත් ඒක මට දැනෙනවා.මං රවට්ටන කෙනෙක්ට මං කවදාවත් සමාව දෙන්නෙ නෑ.ඒත් ඉතිං අර පොත් ටිකයි පාං ගෙඩියයි මතක් උනාම මං ඒ මනුස්සයට දෙකක් අනින්නෙ නැතිව අත ඇරපු එකටත් සතුටුයි.ඒත් ඒක මහ කියාගන්න බැරි අමුතුම හැගීමක්.මනුස්සකමින් අයුතු ලෙස ප්‍රයෝජන ගන්න උන් එමටයි කියන එකනම් මං මගේ ජීවිතේට පාඩමක් විදියට එකතු කර ගත්තා.