Monday, December 2, 2013

නාමල්ගේ ලිපි අංක 7 - බීමත්කම,ජීවිතයක් සහ ප්‍රථමාධාර

බීමත්කම,ජීවිතයක් සහ ප්‍රථමාධාර

මේක උනේ ඊයේ (11).මේක අද ගෙදර ඇවිත් දානකන් මට ඉවසිල්ලක් තිබුනෙම නෑ.බෝඩිමටම වෙලා ඉදන් වෙලාව කනවා කියන්නේ මහ එපාම කරපු කෝස් එකක් බව බෝඩ් වෙලා ඉන්න උන් හොදට දන්නවා ඇතිනෙ.ඉතිං ඔන්න හැන්දෑවෙ 5ට විතර රවිදු මල්ලියි,තාරක මාමයි එක්ක කොහේ හරි රවුමක් දාලා එනවා කියලා හිතාගෙන පාර පැත්තට ආවා.ගොලුමඩම හන්දියට එනකොටම කොටුවට යන බස් එකක් තිබුනා.ගල්කිස්සෙ බීච් එක පැත්තටවත් යන්න ඕන කියලා හිතලා තුන් දෙනත් එක්ක බස් එකට ගොඩ උනා.කතාවෙන් කතාව බීච් එක පැතතටත් ආවා.බල්ලොයි කොල්ලොයි,කෙල්ලොයි බල්ලොයි,කොල්ලොයි කෙල්ලොයි බීච් එකේ සෑහෙන්න හිටියා.නිල් පාටට රළ ගහන මුහුද දැක්කම දන්නෙම නැතිව හිත කොහෙද මන්ද ඈතකට ඇදිලා ගියා.දැන් වගේ රටේ ලෝකෙ තැන් තැන්වල නැතිව අපි පොඩි කාලෙ ගෙදර අය ඔක්කොමලා මේ වගේ හැන්දෑ වෙලාවක තංගල්ලේ පරෙවි වැල්ලට ගිහින් නාලා කියලා කඩල ගොට්ටකුත් අරන් හෙමින් කකා ෆිල්ම් එකකුත් බලලා රෑ වෙන්න මොනව හරි කඩේකින් බඩවල්වලට දාගෙන ජොලියෙ ආපහු ගෙදර ගියපු ලස්සන අතීතෙ මතක් කරන් මම අර ඩබලත් එක්ක ඉස්සරහට ඇදුනා.අහස කලු කරලා තිබුනේ....වැහි පොද එක දෙක හැලෙන්න ගත්තා.එතකොට තමයි මතක් උනේ උදේ ගිහින් සෙමට බෙහෙත් අරන් ආවා කියලා.එහෙම්මම තුන් දෙනත් එක්ක රිංගුවා පොඩි කබානා එකකට.වැස්ස පායනකම් ඉතිං එහෙම තමයි.
පැය බාගෙකට විතර පස්සෙ මහ හයියෙන් වැහැපු වැස්ස නතර උනා.බීච් එකේ හිටපු උන් සුනාමියකට අහු උනා වගේ තැන් තැන්වල.දැන් කලුවර වැටිලත් එක්ක....ඒත් හොටෙල්,රෙස්ටුරන්ට් වලින් බීච් එකට වැටෙන එක එක පාට පාට බල්බ් එලි වලින් ලග ඉන්න අය බලාකියා ගන්න පුලුවන්.එහෙම වැටෙන එලි වලින් තැන් තැන්වල ඉදන් තනියම,දෙන්නා තුන් හතර දෙනා සිගරට් දුමෙන් වැහීගෙන බෝතල් පාටි දානවත් පේනවා,ලග තිබුන ඩීජේ පාටියකින් අඩුවක් නැතිව පසුබිම් සංගීතෙත් සපයලා. දැන් ආච්චිත් බලන් ඇති යමු කියලා කස්ටියම යන්න ලෑස්ති උනා.ගල්කිස්සෙ කෝච්චි ස්ටේෂම හරියෙන් ගාලු පාරට වැටෙන්න බලාගෙන අපිත් ඇවිදන් ආවා.කෝච්චි පාරට ආවට පස්සෙ වැස්ස දවස්වලට හැමෝටම වැඩිපුර හැදෙන බර හැදිලා තාරක මාමා ආයිමත් මුහුද පැත්තට හැරිලා අහවල් වැඩේ කරන්න ගත්තා (අර අර පිරිමි හිටගෙන කරන ගෑණු අය වාඩිවෙලා කරන බල්ලෝ කකුලක් උස්සලා කරන වැඩේ)........ඔන්න ඒ වැඩේ බාගයක් කරද්දි එක පාරටම තාරක මාමා අන්න අඩෝ මිනියක් ගොඩ දාලා කියලා කෑ ගහගෙන මුහුද පැත්තට ආයිමත් දුවන්න ගත්තා.අපිත් ඒ ගමන්ම එතනට දුවගෙන ගියා.යන ගමන් අඩිය ගගහා ඉදපු කොල්ලෝ ටිකකටත් පනිවිඩේ කියාගෙනයි දිව්වේ..
අම්මටහුඩු මෙන්න බොලේ පත මනුස්ස පරානයක් ඉන්නවා මුහුදේ.බඩ අක්කරයක් විතර පිම්බිලා....බඩ දැක්ක ගමන් මට හිතුනෙ දැනටමත් පොරට සොට් එක හම්බවෙලාවත්ද කියලා.දැන් කස්ටිය එතන මල විකාරෙන් මේක දැකලා කෑ ගහනවා.අඩෝ මචන්ලා කව්රුවත් අල්ලන්න එපා මේවා ගස් යන වැඩ කියලා කට්ටිය එකා එකා මාරුවෙන්න හදනවා.දැන් මේ මනුස්සයා ආයිමත් වතුරට ගහන් යන්නයි හදන්නෙ.එකෙක්වත් පොර ගොඩට ගන්න බලන්නෙ නෑ.මම ඕන පු*ක් වෙද්දෙන් කියලා වතුරට බැහැලා මිනිහගේ ඔලුවෙන් ඉස්සුවා.වතුරෙන් උස්සල ගත්තා විතරයි උගෙන් ආව අරක්කු ගදට මගේ අතිං ආයිමත් මිනිහව වතුරට වැටුනා,ඒ තරමටම පොර නස්තාර් වෙන්න ගසලා.මං වැඩේට එන්ටර් වෙනවා දැකලා තාරුක මාමායි රවිදු මල්ලි මට උදව් කරන්න බැස්සා.කවුරු උනත් මනුස්සයෙක්නෙ බං කියලා තව අයියා කෙනෙකුත් සප් එකට ආවා.අපි ටික බොහොම අමාරුවෙන් මිනිහව උස්සන් වැල්ලට ගෙනාවා.ගෙනත් බිම තිබ්බා.එකෙක්වත් කිට්ටු වෙන්නෙ නෑ,ඒ උනාට වටේ උන් පොර ටෝක්නම් දෙනවා ඇට්ටි හැලෙන්න.මම පොරගේ නාඩි බැලුවා..... මෙන්න බොලේ යන්තන් නාඩි වැඩ,මිනිහගේ පන තාම තියනවා.ලග හිටපු එකෙක්ව යැවුවා ලෙඩාව ඉස්පිරිතාලෙට ගෙනියන්න තුන් රෝද රථයක් එක්ක එන්න කියලා.මේකා මෙතන හදිස්සියෙවත් වළකජ්ජ ගැහුවොත් කියලා අනිත් උන්ට කිව්වා 119 කතා කරන්න කියලා මෙන්න බොලේ හැමෝගෙම ෆෝන් වල බැටරි නෑ,තව උන් ෆෝන් ගෙනත් නෑ,තව උන්ගේ ෆෝන්වල සල්ලි නෑ.තමන්ගෙ ජංගමෙන් අමතලා නැති ප්‍රශ්න දාගන්නෙ මොකද කියලා හිතන්න ඇති.119 ඉන්න උත්තමයෝ ඒ වෙලාවෙ හැමෝම තේ බොන්න ගිහින්ද කොහේද?බය වෙන්නෙ නැතිව 119ට කතා කරපු ඇත්තන්ගෙ එක කෝල් එකක්වත් ආන්ස්වර් උනේ නෑ.වතුරෙ ගිලුනු එකෙකුට කලින් දැනන් උන්න ප්‍රථමාධාර දෙන විදිය මගේ හිතේ සුටුස් ගාලා මතක් උනා.නායකත්ව පුහුණුවේදී ඒවා ආයිමත් මතක් උන එකත් හොදට ගියා.මං ඉතිං මිනිහව බේරගන්න පුලුවන් කියලා හිතට ගට අරන් ප්‍රථමාධාර දෙන්න පටන් ගත්තා.මුලින් මම මිනිහව රිකවරි පොසිෂන් එකේ තියලා ගිලිලා තිබුන වතුර ටික අයින් කලා.
රිකවරි පොසිෂන්


 මෙහෙම කරනකොට පොරට පෙවිච්චි වතුර වලින් සෑහෙන්න අයින් උනා.ශ්වසන මාර්ගෙ බාධාවක් විදියට තිබුන වතුර අයින් උනාට පස්සෙ මිනිහා අමාරුවෙන් වගේ ප්‍රාණවත් විදියට උස්ම ගන්න ගත්තා.ගොර ගොර ගගා දැන් සෙමයි වැලියි එක්ක වතුර පිටවුනේ.ඊටපස්සෙ මිනිහට මං CPR කලා.CPR කියන්නේ Cardiopulmonary resuscitation කියන එකටයි.(කෘතීම ස්වසනය).ඔය පහල වීඩියෝ එකකුත් තියෙන්නේ.බලලා හදිස්සි වෙලාවක පාවිච්චි කරන්න ඉගෙන ගන්න.

කෘතීම ස්වසනය

මං වැඩේ කරන්න පටන් ගත්තම එකෙක් පපුව මිරිකලා හරියන්නෙ නෑ.තව යටට වෙන්න අත තියලා බඩ මිරිකපං කියලා කෑ ගහන්න ගත්තා.මට ඉතිං මලේ මල.ඌත් හොදට ගහලා හිටියේ.ඒපාර ලග හිටපු අය ඒ පොඩි එකාට ඒක කරන්න දීපන් කියලා කිව්වා.අර මෝඩයත් අත ඇරියේ නෑ,කට ගහගෙන අත පය දික් කරන් ආවා.තව පොඩ්ඩෙන් පොර හැමෝගෙන්ම ගුටි කනවා.තාරක මාමා සාම නියෝජිතයෙක් වෙලා යන්තං තව එකෙක් දෙන්නෙක් ඉස්පිරිතාලෙ යන වැඩේට තිත තිබ්බා.CPR එකෙන් වැඩේ සෑහෙන්න ගොඩ....මුලින් මනුස්සයා ඇස් ඇරියා.බීපු ඒවල සැරටයි ලුණු වතුර වලටයි පොරගේ ඇස් දෙක වැවුරුකන්නල පන්සලේ අපායේ යම රජාගේ වගේ.අමාරුවෙන් කෙදිරි ගාන්නත් ගත්තා.නාඩි වැටීමත් දැන් හරියාගෙන එනවා.මිනිහා මැරෙන්නෙ නෑ කියලා දැන් මට ශුවර්.මෙන්න බොලේ ඔක්කොම ඉවර උනාම වෙරළ ජීවිත ආරක්ෂකයෝ දුවන් එනවා,උන් සෙට් එකත් නස්තාර් වෙන්න අඩිය ගහලා
ත්‍රීවීල් එක ආවා.ජීවිත ආරක්ෂකයෝ දෙන්නෙක් එක්ක ලෙඩාව පටවලා ඉස්පිරිතාලෙට යැව්වා.කාපු බීපු තැංවල උනත් වැඩි වෙලා ඉන්න හිටින්න හොද නෑ නෙ.ඉතිං ලංකාවේ පොලොස් මහත්තුරු ගැනයි,කවුරු හරි ගිලෙනවට පඩි ගෙවලා ගිලෙන එකාව බේර ගන්න දාලා තියන ජීවිත ආරක්ෂකයො ගැනයි පුදුම කළකිරීමකින් අපි ගෙදර ආවා.ඒ වෙලාවෙදි මං නිකන් චිත්‍තරපටියක ප්‍රධාන නලුවා වගේ උනා.බිව්ව කනමදයෙක්ගෙ උනත් ජීවිතේ බේරපු එකට මට මං ගැනම සතුටක්,අහිංසක ආඩම්බරයක් දැනුනා. 

ප/ලි
අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....

12 comments:

  1. ඔය බීපු මිනිස්සු දැක්කම කවුරුත් උදව් කරන්න කැමති නෑ...මොකද සමහර විට සිහි නැතුව පත බෑවිලා ඉන්න එකෙක් සිහිය ආපු ගමන් හොඳ කුනුහරපෙන් පටන් ගන්න ඉඩ තියෙන හන්දා..අනික ඉතිං උදව් කරන්න යන කෙනාට වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ වෙන අවස්ථාත් එමටයිනේ..

    ඔනවා උනත් ඒ මනුස්සයට උදව් කරපු එක වටිනවා මල්ලෝ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ.අපි එනගමනුත් ඒ ගැනමයි කතා කර කර ආවේ.වෙලාවේ හැටියට මට කරන්න තිබුන දේ කරා කියලා සතුටුයි ඉතිං

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මොනා උනත් මනුස්ස පරාණයකනෙ මචෝ. උඹ එල. අපේ රටේ ඉන්න කාලකන්නි, කටින් බතල හිටවන හැත්තට වඩා උඹ සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා කොල්ලො

    ReplyDelete
  4. ටැංකූ හොදේ මේ පැත්තට ආව එකටත්....මට ඩින්ගක් ලැජ්ජයි ලැජ්ජයි වගේ.... හී....

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බං මට වැඩ වැඩී... ලියන්න තියා කියවන්න වත් වෙලාවක් නෑ.. බෝම අමාරුවෙන් තමා මාත් මගෙ එක අදින්නෙ.. හැමදාම නාවට පුළු පුලුවං වෙලාවට එන්නං

      Delete
  5. ඇත්තටම ඔහොම වෙලාවට කටින් බතල හිටවන උන් මැද්දෙ උඹ රියල් කොල්ලෙක් මල්ලි. මොක උනත් මනුස්සයෙක්නෙ බන්. පවු.

    අපරාදෙ අර උපදෙස් දෙන්න ආපු එකටනම් වටේ උන්ට නෙලන්නයි තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් ඌ කනවා අපෙනුත්...

      Delete
  6. මොනව වුණත් හොඳ වැඩක්... නැත්තං මිනිහා එතනම ඉවර වෙන්න තිබ්බා අනිත් අය ලෑස්ති වෙද්දී... මෑන් එක්ක ආපු කවුරුවත් හිටියෙත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෑන් එක්ක ආපු අය සමහර විට එතනත් ඉන්න ඇති.මිනිහට මුකුත් උනොත් පොලිස් කේස් යයි කියලා සද්ද නැතිව ඉන්න ඇති.ස්තුතියි මේ පැත්තෙ ආවට.....!!!

      Delete
  7. ඒකත් ඇත්ත... දිගටම එන්නම්... :)

    ReplyDelete

කියවන්න....මා දිරිමත් කිරීමට, ඔබේ වටිනා අදහස් පවසා යන්න............