Saturday, November 16, 2013

නාමල්ගේ ලිපි අංක 5 - ලංකාවේ රැකියා මාෆියාව


 ලංකාවේ රැකියා මාෆියාව.

     මේක ගැන ලියන්න කාලෙක ඉදන් මගේ හිතේ තිබුනා.පහුගිය දවසක කෝරළේ මහත්තයාගේ වළව්වට ගොඩ වැදුන වෙලාවෙ තිබුන ලිපි දෙකකින් අරාබියේ වහල් සේවයට යවන සහෝදරියන්ට වෙන්නේ මොකද කියලා දාලා තිබුනා.මෙන්න ඒ ලිපි දෙක

1.අයියා පස්සෙන් ඒම (ගෘහසේවිකාවන්,ලිංගික අපයෝජන) අතිශයින්ම යමක් තේරුම් ගත හැක්කන්ට පමණයි 18++++++
2.කොටුපැනීම, අම්මයි දුවයි සමග පවුල් කෑ එකා (මාතලන්ට/අපූර්විට පිළිතුරු) 18+++++

 ඒ වගේම තමයි රාජ් අයියගේ මෙන්න මේ ලිපිය.



     මේවා කියවද්දි තමයි මට ආයිමත් හිතුනේ ලංකාවෙ තියන රැකියා ගැනත් හැමෝටම පණිවිඩේ දෙන්න මොනවා හරි ලිවුවා නම් හොදයි කියලා.ඒ වගේම මීට මාස දෙකකට විතර කලින් ම‍ගේ යාලුවෙක්ට සිද්ධ වෙච්චි අත්දැකීමකුත් මේක ලියන්න මුල් උනා.ඒත් ඉතිං නායකත්ව පුහුණුවට හිර වෙලා හිටපු හන්ද මුකුත් දාන්න බැරි උනා.යන්තං ලැබුනු නිවාඩු දවස් දෙක නිසා තමයි මේකත් ලියවෙන්නෙ.
     මුලින්ම ඒ යාලුවගේ කතාව කියලා ඉන්නම්කො.අපි මිනිහට සරත් කියලා නම දාමු.සරත්ගේ ගම පොළොන්නරුවේ දිඹුලාගල පැත්තට කිට්ටු වෙන්න.මූ පවුලෙ වැඩිමලා,තාත්තා ඉස්කෝලෙ මහත්තයෙක්.ටිකක් ආර්ථික අපහසුතා තිබුනා.දෙවනි පාර ඒලෙවල් ලියලා රිසාල්ට් එනකන් මිනිහා ඒ පැත්තෙ කඩේක වැඩකලා.ඒත් එහෙම කඩේක වැඩ කරද්දි මිනිහගේ තාත්තට හොදනැති නිසයි ගමේ එක එකාගේ කයි කතන්දර අහන්න වෙනවටයි කඩේ පඩි මදි නිසයි සරත් රස්සාවක් හොයාගෙන කොළඹ එන්න තීරනේ කලා.ඉරිදා දවසක ලංකාදීප පත්තරෙත් අරගෙන ඒකෙ ලහිපි‍ටේ තියන රැකියා දැන්වීම් බලලා ඒවට කතා කරලා මිනිහා කොළඹ ආවා.කොළඹ ආවේ හිස් අතින් නෙමෙයි,කලින් කඩේට මැරිලා මැරිලා අමාරුවෙන් හොයාගතිපු රුපියල් 15000 කුත් අරන්.ඉතිං උගේ කාළකණ්නි කමටම සෙට් වෙලා තියෙන්නෙ Asian Lanka කියලා මහරගම තියෙන පොට් එකක්.
ලොකු කරලා බලන්න
     මේ ආයතනය රස්සාවල් හොයන් එන අහිංසක ගම්වල කොල්ලො පුදුමාකාර විදියට රවට්ටනවා ඒවගේම උන්ගෙන් දත පන්නනවා හිටගෙන.මුන් පත්තරේ ඇඩ් දානකොටත් පුදුම විදියට රැවටීමක් තමයි කරන්නේ.ඉරිදා ලහිපිට අරන් බලන්න එකම ඇඩ් එක පත්තරේ කිහිප තැනකම වෙනස් නම් වලින් තියනවා,හැබැයි එකම ටෙලිෆෝන් නම්බර් ටික තමයි තියෙන්නෙ.එක තැනක ආයතනෙ නම Asian Lanka තව තැනක K.C.L. තවත් තැනක Guide Line Lanka.මම කියන්නෙ බොරුවක් නම් පහල ෆොටෝ එක බලලා ඉන්න.මේ තියෙන්නෙ 2013-11-10 වැනිදා ලංකාදීප ලහිපිට පත්තරේ.

 
Zoom කරලා බලන්න click කරන්න
     ඉතිං පේනවා නේද මුන්ගෙ බොරුව.මේ නම්බර් සේරම බලාගන්න පුලුවන් උන්ගෙ සයිට් එකට ගියාම.සයිට් එකේ නම්බර් වෙනස් කරයි කියලා ඔන්න මම ඒකෙ ෆොටෝ එකක් දානවා පහල තියෙන්නෙ ඒක.

ලොකු කරලා බලන්න
     මූට ටිකක් කඩ්ඩ එහෙම පුලුවන්,ඒ වගේම ඕලෙවල් වලට A අකුරු 5යි B අකුරු 3කුයි එහෙමත් තිබුනා.පලවෙනියටම ඒ ආයතනෙට ගියාම මුලින්ම exam එකක් තිබිල word වලින් ලිපියක් ටයිප් කරන්න තමයි තිබිලා තියෙන්නෙ.සරතට computer වැඩ ගැනත් ටිකක් පුලුවන්.ඒත් සහතික අඩුයි.මූ ඉතිං හරියට ඒක කරලා.එතන හිටපු කෙනා කියලා ඔයාට හොදට වැඩ පුලුවන් 30ක් වත් පඩියක් ගන්න පුලුවන් අපි ඒකට උදව් කරන්නම් කියලා.ඒත් සහතික අඩු හන්දා මෙහේ සති දෙකේ කෝස් එක කරලා හැමතැනම පිළිගන්න අපේ සහතිකේ අනිවා ගන්න කියලා.ඉතිං මූ රුපියල් 9000ක් බැදලා ඒ කෝස් එකට ඇවිත්.සති දෙකට පැය දෙක ගානේ පැය 28 ක් කෝස් එක.ඉතිං රස්සාවක් බලන් මේ අහිංසකයා හැමදාම එතනට ගිහින්.පැය 28න් පැය 10 ක් 12ක් වෙනකම් මූට බොරුව දීලා.කියලා දීලා තියෙන්නෙත් FB account,google account හදන වගේ පොඩි පොඩි වැඩ.සහතිකේ ගන්න සල්ලි ගන්නේ නෑ කියලා ඒත් සහතිකයක් ඉල්ලන ඉල්ලුම්පත රු.600 ක්.ඉතිං මූ ඒකත් ගෙවලා සහතිකෙත් අරගෙන.30ක් පඩි දෙන තැනකට දානවා කිව්ව උන් අවසානෙට ඌව දාලා ති‍යෙන්නෙ රු.12000 ක පඩියකට කඩේක බිල් ලියන්න.ඒකත් උදේ 5 ඉදන් රෑ 10 වෙනකන් මාසෙටම නිවාඩු දෙකයි.මූ ඉතිං දවස් දෙකක් එතන වැඩ කරලා.මුදලාලි මූට කියලා බර වැඩ කරගන්නත් හදලා.සරත් එතන දමලා ගහලා ඇවිත් ආයිමත් ගිහින් Asian Lanka එකට කියලා.අපි දුන්න තැන ඔයාට හොද නැත්නම් තවත් තැන් දෙන්න බෑ කියලා මූව එතනින් එලවගෙන.
     හිස් අතින් ගෙදර යන්න බැරි නිසා මූ තවත් තැන් වලට රස්සාවල් හොයන් ගිහින්.ගිය ගිය තැන් වලින් අහලා ඔයත් Asian Lanka එකට අහු උනාද කියලා.බැලින්නම් ඒ සහතිකේ මෙලෝ බලු බල්ලෙක් පිළිගන්නෙ නෑ.තනිකරම බොරුවක් තමයි උන් ගෙනිහින් තියෙන්නෙ.
මේවා බොරුවක් එහෙම නෙමෙයි.ඒ ආයතනෙත් එක්ක ගණුදෙනු කරපු හැම විදියක්ම උගේ ළග සාක්ශි තියෙනවා.කතාකරපු ටෙලිෆෝන් කෝල් වල රෙකෝඩ් පටන්ම.
     ගමෙන් ගෙනාපු සල්ලි ටිකත් වියදම් කරගෙන එල්ලෙන්න වැලේ වැල් නැතිව ජොබක් හොය හොය ඇවිද ඇවිද ඉන්නකොට තමයි මිනිහව මට අහම්බෙන් රත්මලානෙදි හම්බුනේ.ඒ ඌ මැලිබන් එකට යන කොට.පරන යාලු කම් මතක් වෙන්නත් එක්ක වඩයක් කකා ප්ලෙන්ටියක් ගහන කොට තමයි මිනිහ මට විස්තරේ කිව්වෙ.මම වගේ තවත් උන් මේකට අහුවෙන්න දෙන්න එපා බං චුට්ටෝ කියලා කියපු හැටි මගේ කන ඇතුලේ තාම දෝංකාර දෙනවා වගේ.
     මට මේ ආයතනෙත් එක්ක කිසිම තරහක් නෑ.ඒත් තවත් අහිංසක මනුස්සයෙක්ගෙ සල්ලි,වෙලාව නාස්ති නොවෙන්නයි මම මේක පළ කරන්නේ.මෙහෙම ඒවා දාලා මටත් සුදු වෑන් එකක යන්න වේවිද කියලා දන්නෙ නෑ ඉතිං.ලංකාවේ තියෙන්නෙත් කෝරලේ මහත්තයා මැදපෙරදිග තියනවා කියපු වගේ පුදුම බලු රැකියා වෙළද පොළක්.මැදපෙරදිගටත් වඩා ඒක බලුයි කිව්වට එක අතකින් වරදක් නෑ.....ඕන්න ඔහොම තමයි අද කතාව.තව රස්සා ගැන මගේම අත්දැකීමක් තියෙනවා රත්මලානෙ මැලිබන් එකේ.මේවා ලියලා ජීවත් වෙලා හිටියොත් වෙලාවක් ලැබුන ගමන් ඒකත් ලියන්නම්.......... මගේ ලිපි පෙළ සංවාදයට විවෘතය......................ඔබේ අදහස් පළ කරන්න.........

ප/ලි
අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....

Thursday, October 31, 2013

නාමල්ගේ ලිපි අංක 4 - සොදුරු මතකයන් 1

හොරෙන් තැඹිලි කැඩීම.

නිකං ඉන්න වෙලාවට හැමෝටම වගේ තමන් ඉස්කෝලෙ යන කාලෙ කරපු කියපු පිස්සු හුටං වැඩ මතක් වෙනවානේ.ඔන්න ඉතිං මටත් ඔය වගේ නිකං ඉන්නකොට මතක් වෙච්චි දෙයක් තමයි මේක.මතක් වෙලා හිනා ගියත් එක්ක.ඒ කාලේ කොච්චරනම් සුන්දරද? අපි හැමෝටම ආයිමත් ඒ කාලෙට යන්න තිබුණනම් කියලා කොච්චර නම් හිතිලා ඇතිද?

මේක උනේ මම උ/පෙ කරන්න පොලොන්නරු ගියපු කාලේ.2008 සා/පෙ පාස්වෙලා 2009 තමයි එහේ ගියේ.මට මතක හැටියට මේක උනේ 2010 මුල් කාලේ.ඒ වෙනකොට උ/පෙළ කණ්ඩායම් ව්‍යාපෘතිය කරන්න කස්ටිය සෙට් වෙලා ඉන්න කාලේ.අහිංසක මාවත් වැටුනේ නැතෑ මෙන්න මුන් එක්ක එක කණ්ඩායමකට කුෂාන්(කුක්කා),නිරන්ජන්(ඇන්ටා) තවත් දෙතුන් දෙනෙක් හිටියා,ඒත් මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ උඩ ඉන්න දෙන්න විතරයි.මුලු ඉස්කෝලෙම හිටපු විනීතම ශිෂ්‍යයා නැත්නම් රෝයල් එකේ හෙඩා කිව්වම ඈත තිබුන බාලිකා ඉස්කෝලෙ අයත් කුක්කා ගැන දන්නවා.ඒ වගේම මොන්ටිසෝරි ගැන කතාකරන කොට ඇන්ටගේ නමත් මුලින්ම කියවෙනවා.කොහේ හිටියත් එක මල්ලෙ පොල් එක තැනට සෙට් වෙනවා වගේ මමත් උන් එක්ක එකතු උනා.

අපි ටිකගේ ගෙවල් තිබුනේ කොහොමහරි ඉස්කෝලෙට කිට්ටුවෙන්.අපි project එක කරන්න දාගත්තේ ඉස්කෝලෙ බුදු ගෙයි ඉස්සරහා තණකොළ එහෙම සුද්ධ කරලා එතන ලස්සනට හදන එක.එතන අමුතුවෙන් හදන්න දෙයක් තිබුනේ නෑ,ඒත් ඉතිං එතන වල් වැදිල කියලා  project එකේ දාන්න ඕන හන්දා දවසක් කට්ටියත් එක්ක හවස් වරුවක ගිහින් ඒ හරියෙ ලග තිබුන කුණු ගොඩකින් කුණු අරන් ඒ ටික තැන තැන විසුරවලා දාලා මේ තැන තිබුනේ මෙහෙමයි කියලා ෆොටෝ ටිකක් ගත්තා.ඇයි ඉතිං අපි මෙතන කුණු දාලා අපිම ෆොටෝ ගත්තා කියලා ෆොටෝ එකේ වදින එකක්යැ.ෆොටෝ ටික අරන් කට්ටිය පොඩි චැටක් දාලා ආයි හෙටත් එමු කියලා විසිරුනා.

අපි බාරගත්තෙ මෙතන ලස්සන කරන්න

ඔන්න ඊලග දවසෙ උදේ ඉස්කෝලෙදි කට්ටිය සෙට් උනා.කලින් කියන්න බැරි උනානේ ඉස්කෝලෙ ඉස්සරහින් පරාක්‍රම සමූ‍ද්‍රෙන් පටන් ගන්න ඇළක් තියෙනවා,ඒකෙ වතුර ඒ දවස් වල ඇරල තිබුනේ.ඉතිං හවස project කරන්න ඇවිත් ඕකෙ පැනලා නාන්න කතාවුනා.මරු අදහස හන්ද කට්ටිය උඩින්ම කැමති වුණා.

ඔන්න දැන් තමයි රසම ටික.අපේ කට්ටියට නාන්න යන්න කියලා අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕන නෑනේ.ඇදන් ආපු කලිසම් වලට යටින් තියන ඇදුම හොදටම ඇති ඔය කර්තව්‍යට.(දැන් සමහරු හිතනවා ඇති යකෝ මුං උපන් ඇදුමෙන්ද නාන්නෙ කියලා,නෑ නෑ යටින් තියන ඇදුම කිව්වෙ අතීත කාලේ ඉදං පැවත එන අමුඩෙ modify කරපු එක.ඔය කොල්ලො ජො_ කියන්නෙ).

බුදු මැදුර ඉස්සරහම තියනවා රන් තැඹිලි ගහක්,ආසාවෙ බෑ තැඹිළි පාටට දිළිසෙනවා වල්ලක් :-D .ඔන්න නාන්න හිටපු උන් ටිකට තැඹිලි බොන්න දොල දුකක් පහල උනේ නැතෑ.කට්ටිය උඩ බලනවා එක එකාගේ මූනු දිහා බලනවා.කට්ටියට තැඹිලි බොන්න ඕන ඒත් උන් පොල් ගස් නගින්න දන්නෙ නෑ.මම ඉතිං ගමේ මිනිහනේ,දැන් ටිකක් මහතට ඉන්න නිසා බැරි උනාට ඒ කාලේ මට පොල් ගහකට යන්තන් නැග ගන්න දස්සතාවක් තිබ්බා.තොපි ගෑණු ගහකටවත් නැගගන්න බෑ කියලා හොද සුද්ධ සිංහල වචනෙකුත් කියලා හා මේක අල්ල ගනින් කියලා මම උඩට ඇදන් හිටපු කලිසමයි ෂර්ට් එකයි ගලවල ජො_ පිටින් ගහට නගින්න ගත්ත.අම්මටහුඩු බෙලිඅත්තයට ගස් නගින්නත් පුලුවන් කියලා පහල හිටපු උන්ගෙන් මට සෑහෙන්න අප් එකක් ආවා.දැන් ඉතිං මම ගහ උඩ...................

ආදරනීය තැඹිලි ගස (වම් කෙලවර)....සර්ල හිටියෙ ඔය බස් එක තියන ටිකේ

ඔන්න දැන් තමයි මට පදිරි පජාතම ජරා වැඩේ උනේ.රෝයල් එක කියන්නෙ ක්‍රීඩා පාසලක්.හැමදාම හවසට ඒකෙ ඉන්න උන් සර් එක්ක දුවනවා.දැන් මං ගහ උඩ.මට දැන් පේනවා සරුයි ළමයි ටිකයි මේ පැත්තට එනවා කියලා.දැන් මට බැහැගන්නත් වෙලාවක් නෑ.වෙන දෙයක් වෙච්චි දෙන් කියලා මම ගහේ උඩටම නැග්ගා.දැන් පහළ උන්ගෙන් කිසි සද්දයක් නෑ.උන් ටික මගේ ඇදුම් ටිකත් හංගලා සෑහෙන්න මහන්සියෙන් වගේ ගස්වල වැටිලා තියෙන කොළ අහුලනවා.දැන් සරුයි ළමයි ටිකයි ඔය දාල තියන ෆොටෝ එකේ බස් එක නවත්තලා තියන හරියට ඇවිත් exercise කරන්න ගත්තා.මම යන්තන් ඔලුව දාලා බැලුවා.අනේ දෙයියනේ ගෑණු ළමයිනුත් ඉන්නවා.විලි ලැජ්ජාවෙ තන්තෝසෙ බෑ.දැන් විනාඩි දහයක් විතර ඔතන නැවෙනවයි දිග ඇරෙනවයි එක විකාරයයි.ඒ ටික වෙලාවෙදි මම සර්ගෙ පවුලෙ උදවිය ඔක්කොම ඇති වෙන්න මතක් කලා.සර්ගෙ මෑණියොන්ට සෑහෙන්න හචිං යන්න ඇති ඒ වෙලාවෙ.කොරේ පිටට මරේ කියනවා වගේ සර් කුක්කව දැක්ක.මූ ඉතිං සර්ගෙ හොද ගෝලයනේ.ඒ පාර මුං ඩබලත් තව විනාඩි දහයක් විතර කයිය ගැහුවෙ නැතෑ.මට දැන් මලේ මල.අත් දෙකයි කකුල් දෙකයි රිදෙනවා එකසිය ගානට,ඒ මදිවට ඉවසන්න බැරි සුලු දිය බරකුත් තියෙනවා.මගේ වාසනාවට සර්වත් ළමයිවත් උඩ බැලුවෙ නෑ.බැලුවනම් එහෙම ඉස්කෝලෙ ගමනත් එතනින් ඉවරයි.යන්තන් සර් ළමයි ටිකත් දක්කන් එතනින් ගියා.අතට අහු උන තැඹිලි ගෙඩි ටිකත් බාල මං රූං ගාලා ගහෙන් බිමට ලෑන්ඩ් උනා.මුං පුදුම යාලුවො කියන්නේ බැහැපු ගමන් සක්කිලියො ටික වගේ බඩවල් අල්ලන් හිනා වෙන්න ගත්තා,මම මං දන්න ඔක්කොම කුණුහරුප ටික එතන වමාරන්න ඇති.කොහොමහරි ටිකකින් මටත් හිනා.ඊට පස්සේ තැඹිලි වලින් සප්පායම් වෙලා ඇළට බැහැල නාලා සභා තොමෝ සතුටින් විසිර ගියා.

ඔන්න ඔහොමයි අපි project කලේ.මේ වගේ රස අත්දැකීම් තව සෑහෙන්න තියනවා.මතක් වෙන සමහර ඒවා මේකෙ දාන්න ගියොත් මැරුම් කන්න තමයි වෙන්නේ.ඒ කාලේ නම් මාරම ලස්සන කාලයක්.....ආයිමත් එනවනම්......

ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ.........//

ඒ කාලෙ මේ වගේ කරපු පිස්සු වැඩ මේක කියවලා මතක් වෙලා හිනාවක් ගියානම් පහලින් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.මොකද ඔබේ අදහස් තවත් මේ වගේ ලිපියකට මගේ මොරාල් අප් කරයි.....
 

ප/ලි

අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....