Thursday, October 31, 2013

නාමල්ගේ ලිපි අංක 4 - සොදුරු මතකයන් 1

හොරෙන් තැඹිලි කැඩීම.

නිකං ඉන්න වෙලාවට හැමෝටම වගේ තමන් ඉස්කෝලෙ යන කාලෙ කරපු කියපු පිස්සු හුටං වැඩ මතක් වෙනවානේ.ඔන්න ඉතිං මටත් ඔය වගේ නිකං ඉන්නකොට මතක් වෙච්චි දෙයක් තමයි මේක.මතක් වෙලා හිනා ගියත් එක්ක.ඒ කාලේ කොච්චරනම් සුන්දරද? අපි හැමෝටම ආයිමත් ඒ කාලෙට යන්න තිබුණනම් කියලා කොච්චර නම් හිතිලා ඇතිද?

මේක උනේ මම උ/පෙ කරන්න පොලොන්නරු ගියපු කාලේ.2008 සා/පෙ පාස්වෙලා 2009 තමයි එහේ ගියේ.මට මතක හැටියට මේක උනේ 2010 මුල් කාලේ.ඒ වෙනකොට උ/පෙළ කණ්ඩායම් ව්‍යාපෘතිය කරන්න කස්ටිය සෙට් වෙලා ඉන්න කාලේ.අහිංසක මාවත් වැටුනේ නැතෑ මෙන්න මුන් එක්ක එක කණ්ඩායමකට කුෂාන්(කුක්කා),නිරන්ජන්(ඇන්ටා) තවත් දෙතුන් දෙනෙක් හිටියා,ඒත් මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ උඩ ඉන්න දෙන්න විතරයි.මුලු ඉස්කෝලෙම හිටපු විනීතම ශිෂ්‍යයා නැත්නම් රෝයල් එකේ හෙඩා කිව්වම ඈත තිබුන බාලිකා ඉස්කෝලෙ අයත් කුක්කා ගැන දන්නවා.ඒ වගේම මොන්ටිසෝරි ගැන කතාකරන කොට ඇන්ටගේ නමත් මුලින්ම කියවෙනවා.කොහේ හිටියත් එක මල්ලෙ පොල් එක තැනට සෙට් වෙනවා වගේ මමත් උන් එක්ක එකතු උනා.

අපි ටිකගේ ගෙවල් තිබුනේ කොහොමහරි ඉස්කෝලෙට කිට්ටුවෙන්.අපි project එක කරන්න දාගත්තේ ඉස්කෝලෙ බුදු ගෙයි ඉස්සරහා තණකොළ එහෙම සුද්ධ කරලා එතන ලස්සනට හදන එක.එතන අමුතුවෙන් හදන්න දෙයක් තිබුනේ නෑ,ඒත් ඉතිං එතන වල් වැදිල කියලා  project එකේ දාන්න ඕන හන්දා දවසක් කට්ටියත් එක්ක හවස් වරුවක ගිහින් ඒ හරියෙ ලග තිබුන කුණු ගොඩකින් කුණු අරන් ඒ ටික තැන තැන විසුරවලා දාලා මේ තැන තිබුනේ මෙහෙමයි කියලා ෆොටෝ ටිකක් ගත්තා.ඇයි ඉතිං අපි මෙතන කුණු දාලා අපිම ෆොටෝ ගත්තා කියලා ෆොටෝ එකේ වදින එකක්යැ.ෆොටෝ ටික අරන් කට්ටිය පොඩි චැටක් දාලා ආයි හෙටත් එමු කියලා විසිරුනා.

අපි බාරගත්තෙ මෙතන ලස්සන කරන්න

ඔන්න ඊලග දවසෙ උදේ ඉස්කෝලෙදි කට්ටිය සෙට් උනා.කලින් කියන්න බැරි උනානේ ඉස්කෝලෙ ඉස්සරහින් පරාක්‍රම සමූ‍ද්‍රෙන් පටන් ගන්න ඇළක් තියෙනවා,ඒකෙ වතුර ඒ දවස් වල ඇරල තිබුනේ.ඉතිං හවස project කරන්න ඇවිත් ඕකෙ පැනලා නාන්න කතාවුනා.මරු අදහස හන්ද කට්ටිය උඩින්ම කැමති වුණා.

ඔන්න දැන් තමයි රසම ටික.අපේ කට්ටියට නාන්න යන්න කියලා අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕන නෑනේ.ඇදන් ආපු කලිසම් වලට යටින් තියන ඇදුම හොදටම ඇති ඔය කර්තව්‍යට.(දැන් සමහරු හිතනවා ඇති යකෝ මුං උපන් ඇදුමෙන්ද නාන්නෙ කියලා,නෑ නෑ යටින් තියන ඇදුම කිව්වෙ අතීත කාලේ ඉදං පැවත එන අමුඩෙ modify කරපු එක.ඔය කොල්ලො ජො_ කියන්නෙ).

බුදු මැදුර ඉස්සරහම තියනවා රන් තැඹිලි ගහක්,ආසාවෙ බෑ තැඹිළි පාටට දිළිසෙනවා වල්ලක් :-D .ඔන්න නාන්න හිටපු උන් ටිකට තැඹිලි බොන්න දොල දුකක් පහල උනේ නැතෑ.කට්ටිය උඩ බලනවා එක එකාගේ මූනු දිහා බලනවා.කට්ටියට තැඹිලි බොන්න ඕන ඒත් උන් පොල් ගස් නගින්න දන්නෙ නෑ.මම ඉතිං ගමේ මිනිහනේ,දැන් ටිකක් මහතට ඉන්න නිසා බැරි උනාට ඒ කාලේ මට පොල් ගහකට යන්තන් නැග ගන්න දස්සතාවක් තිබ්බා.තොපි ගෑණු ගහකටවත් නැගගන්න බෑ කියලා හොද සුද්ධ සිංහල වචනෙකුත් කියලා හා මේක අල්ල ගනින් කියලා මම උඩට ඇදන් හිටපු කලිසමයි ෂර්ට් එකයි ගලවල ජො_ පිටින් ගහට නගින්න ගත්ත.අම්මටහුඩු බෙලිඅත්තයට ගස් නගින්නත් පුලුවන් කියලා පහල හිටපු උන්ගෙන් මට සෑහෙන්න අප් එකක් ආවා.දැන් ඉතිං මම ගහ උඩ...................

ආදරනීය තැඹිලි ගස (වම් කෙලවර)....සර්ල හිටියෙ ඔය බස් එක තියන ටිකේ

ඔන්න දැන් තමයි මට පදිරි පජාතම ජරා වැඩේ උනේ.රෝයල් එක කියන්නෙ ක්‍රීඩා පාසලක්.හැමදාම හවසට ඒකෙ ඉන්න උන් සර් එක්ක දුවනවා.දැන් මං ගහ උඩ.මට දැන් පේනවා සරුයි ළමයි ටිකයි මේ පැත්තට එනවා කියලා.දැන් මට බැහැගන්නත් වෙලාවක් නෑ.වෙන දෙයක් වෙච්චි දෙන් කියලා මම ගහේ උඩටම නැග්ගා.දැන් පහළ උන්ගෙන් කිසි සද්දයක් නෑ.උන් ටික මගේ ඇදුම් ටිකත් හංගලා සෑහෙන්න මහන්සියෙන් වගේ ගස්වල වැටිලා තියෙන කොළ අහුලනවා.දැන් සරුයි ළමයි ටිකයි ඔය දාල තියන ෆොටෝ එකේ බස් එක නවත්තලා තියන හරියට ඇවිත් exercise කරන්න ගත්තා.මම යන්තන් ඔලුව දාලා බැලුවා.අනේ දෙයියනේ ගෑණු ළමයිනුත් ඉන්නවා.විලි ලැජ්ජාවෙ තන්තෝසෙ බෑ.දැන් විනාඩි දහයක් විතර ඔතන නැවෙනවයි දිග ඇරෙනවයි එක විකාරයයි.ඒ ටික වෙලාවෙදි මම සර්ගෙ පවුලෙ උදවිය ඔක්කොම ඇති වෙන්න මතක් කලා.සර්ගෙ මෑණියොන්ට සෑහෙන්න හචිං යන්න ඇති ඒ වෙලාවෙ.කොරේ පිටට මරේ කියනවා වගේ සර් කුක්කව දැක්ක.මූ ඉතිං සර්ගෙ හොද ගෝලයනේ.ඒ පාර මුං ඩබලත් තව විනාඩි දහයක් විතර කයිය ගැහුවෙ නැතෑ.මට දැන් මලේ මල.අත් දෙකයි කකුල් දෙකයි රිදෙනවා එකසිය ගානට,ඒ මදිවට ඉවසන්න බැරි සුලු දිය බරකුත් තියෙනවා.මගේ වාසනාවට සර්වත් ළමයිවත් උඩ බැලුවෙ නෑ.බැලුවනම් එහෙම ඉස්කෝලෙ ගමනත් එතනින් ඉවරයි.යන්තන් සර් ළමයි ටිකත් දක්කන් එතනින් ගියා.අතට අහු උන තැඹිලි ගෙඩි ටිකත් බාල මං රූං ගාලා ගහෙන් බිමට ලෑන්ඩ් උනා.මුං පුදුම යාලුවො කියන්නේ බැහැපු ගමන් සක්කිලියො ටික වගේ බඩවල් අල්ලන් හිනා වෙන්න ගත්තා,මම මං දන්න ඔක්කොම කුණුහරුප ටික එතන වමාරන්න ඇති.කොහොමහරි ටිකකින් මටත් හිනා.ඊට පස්සේ තැඹිලි වලින් සප්පායම් වෙලා ඇළට බැහැල නාලා සභා තොමෝ සතුටින් විසිර ගියා.

ඔන්න ඔහොමයි අපි project කලේ.මේ වගේ රස අත්දැකීම් තව සෑහෙන්න තියනවා.මතක් වෙන සමහර ඒවා මේකෙ දාන්න ගියොත් මැරුම් කන්න තමයි වෙන්නේ.ඒ කාලේ නම් මාරම ලස්සන කාලයක්.....ආයිමත් එනවනම්......

ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ.........//

ඒ කාලෙ මේ වගේ කරපු පිස්සු වැඩ මේක කියවලා මතක් වෙලා හිනාවක් ගියානම් පහලින් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.මොකද ඔබේ අදහස් තවත් මේ වගේ ලිපියකට මගේ මොරාල් අප් කරයි.....
 

ප/ලි

අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....

Friday, October 25, 2013

නාමල්ගේ ලිපි අංක 3 - බොඩිම් සෙවීමේ අත්දැකීම්

බොඩිම් සෙවීමේ අත්දැකීම්. 

    

දවල් තිස්සෙ ගෙට වැදිලා ඉදල ඉදල මල කම්මැලී, ඉතිං හවස් වරුවේ ජොලියටත් එක්ක මගේ පුටාර් එකත් අරන් රවුමක් දාන්න ඕන කියලා එලියට බැස්සා.මොකක්ද බොලේ මේ පුටාර් එක කියන්නේ?වෙන මොකක්ද අනේ රෝද දෙකේ දුප්පතාගේ වාහනේ මිසක්ක.

   ඉතිං රත්මලානේ ගොලු මඩම හන්දියෙන් බොරුපන පාරට හැරිලා ටිකක් දුරක රවුමක් ගහනකොට මෙන්න බොලේ දැක්ක ගේට්ටුවක එල්ලලා තියෙන දැන්වීමක්.......... ! පිරිමි ළමුන් සදහා බෝඩිම් ඇත....... හරිනේ.... ඔන්න බොලේ තියනවා වෙලාව යවාගන්න මරු වැඩක්.ඔන්න මම මගේ රථය අතුරු පාරක දාලා ධාවනේ කරන්න ගත්තා. මෙන්න තියනවා තව බෝඩ් එකක්.බැලින්නම් ටැලිපෝන් නොම්මරෙත් තියෙනවා.ගත්තා මමත් කෝල් එකක්....ම්හු..... කෝ මේ මනුස්සය උස්සන්නෙ නෑ නෙව.ආයිමත් ගත්ත....ඔන්න නිදිමතේ ඉදං හිටපු මනුස්ස පරාණයක් ආන්ස්වර් කොලා....  හලෝ.... හලෝ... කවුද මේ? මොකටද කතා කලේ? කොහෙන්ද කතා කරන්නේ?මිනිහා මට ප්‍රශ්න පත්තරයක්ම අත ඇරියා..මම කිවුවා මේ බෝඩිම බලන්න කියලා.ඒක ඇහුනා විතරයි මිනිහගේ නිදිමත අන්තරාස්දාන් වුනා.ඔහොම ඉන්න සෑර් මං මේ දැන් විනාඩියෙන් ඔතනට එනවා කියලා පොර කිවුවා.මිනිහා හිතුවේ හොද දතක් ගලවන්න පුලුවන් එකෙක් ලොකු වාහනේකින් බැහැල කියලා.ඔන්න ඈතදිම බුලට් එක මාව දකිනවා.උගේ මූණ නිකන් රෝදෙක හුලං ගියා වගේ උනා,ඇයි ඉතිං පුස් සයිකලේක බෑග් එකකුත් පිටේ එල්ලගෙන කැප් එකකුත් දාන් ඉන්නවනේ කොල්ලෙක්....මිනිහටත් අනේ මං නින්දත් නැති කරන් ආවේ මොන අපරාදෙකටද කියලා හිතෙන්න ඇති.මිනිහගේ පස්සෙන් මමත් ගියේ නැතෑ කාමර බලන්න.මාත් ඉතිං මගේ නහය ගෙදර දාලා එන්නෙ නැතුව මන් කරගත්ත ගොන් වැඩක් කියලා ඇතුලට ආවා,අඩු ගානේ මට හෙම්බා වත් හැදිලා තිබුන නම් මේ ගද දැනෙන්නෙ නෑ නෙ.මොරබිටෝ සෙන්ට් ලොරියක්වත් දැම්මොත් ඔන්න ටිකක්වත් ගද යයි.ඒකෙ බෝඩ් වෙලා ඉදපු එවුන්ගේ ගද සුවද දැනෙන ග්‍රන්ථි ඕෆ් කරන ස්විච් එකක් තියෙන්න ඇති.මේ නිදිමතයා යන්තං ඇදක් විතරක් තියන කාමර කෑල්ලක් මට පෙන්නුවා.අනේ වලාමේ... ඒ වෙලාවෙ තුවක්කුවක්  තිබුනනම් මම මටම වෙඩි තියාගන්නවා.ඒ තරමටම මට එපා උනා.මේ ගමේ අහිංසක කොල්ලෙක්ට අඩි  8*8 කාමරයක් පෙන්නලා තව හොදදත් අහනවා.නිදිමතයා නාන තැන් එහෙම බලන්න යමු කිව්වා ඒත් මගේ අහිංසක නාහෙට දුක් දුන්නා ඇති කිහලා ඉතිරි ටික බලන්නෙත් නැතුව මං ඉක්මනටම එතනින් මාරු උනා.

 

    ඉතිං ඔන්න තට්ටු දෙකේ ගෙදරක් තියනවා දිලිසි දිලිසි.පැත්තක  ____ සැලූන් කියලා බෝඩ් තඩියකුත් දාලා තිබුනා.කලින් වගේ කෝල් කළා.ලළනාවක් සැලූන් කටහඩකින් කඩ්ඩෙන්ම මට කොටාගෙන කොටාගෙන ගියා,මාත් අත ඇරියෙ නෑ.මගෙන් ගානක් කියලා ඇහුවා මාසෙකට ඒ ගානකට පුලුවන්ද කියලා.මට පු__නුත් එක්ක හිනා ගියා.මං මේ ජොලියට බෝඩිම් බලනවා මේ යෝධි මගුලක් කතාකරනවා.මම අපොයි පුලුවන් කිවුවා........ටික වෙලාවකින් යතුරු කැරැල්ලකුත් ඇගිල්ලෙන් කරකව කරකව ලළනාව ආවා.ඇවිත් මට කාමරවල දොරවල් ඇරල පෙන්නුවා.මං ඒත් හනිකට කාමරවලට එබිලා බැලුවා.ඇයි ඉතිං ඒ මනුස්සයා කිව්ව ගනන් වල හැටියට මට හිතුනේ කාමරේ රත්තරන් ටයිල්වත් අල්ලලද කියලා.ලළනාව මගෙන් විස්තර ඇහුවා මං ඉතිං හංගන්නෙ නැතුව කින්ද මන්ද කාගේ කවුද ඇත්තම කිවුවා,විස්තර ඇහුවා විතරයි ලළනාවගේ කට පුදුම විදියට පළල් උනේ.මට දත් 64ම පෙන්නුවෙ නැති එක විතරයි.පස්සේ පුදුම ඕන කමක් ඇති උනා මාව නතර කර ගන්න.ගානත් අඩු කරන්නම් කිවුවා.ඒත් ඉතිං ඒ මනුස්සයා මම දකුණේ බවත් ලෝකේ කාලා වතුර බීපු ඇම්බැට්ටයෙක් බවත් දන්න එකක්යැ.ඉතිං මං මේ බෝඩිම බැලුවෙ යාලුවෙක්ට කියලා මගේ පතිවෘතාවත් රැකං ඉක්මනට මාරු උනා.

   පස්සෙ පාර දිගේ රථෙන් බැහැල ඇවිදන් යද්දි තව බෝඩ් එකක් දැක්කා.මං ඉතිං ඒකටත් හොටේ දාලා බැලුවා.ඒකෙත් හිටියේ ලළනාවක්.ඉතිං ඒ මනුස්සයාගෙ පුතත් එක්ක මාත් ගියා බෝඩිම තිබුන තැනට.හයියෝ සසර එපා උනා.මේ යන්තං අටවපු ලෑලි ගෙයක්.ඒ මනුස්සයා ගෙයක් කිව්වට මොකද මගේ සද්ද කෝසෙ තියෙන්නෙ නම් ඒකට කියන්නෙ මුඩුක්කුවක් කියලා.
ඒ බිම නිකං හදේ ආවාට වගේ පස් ගොඩවල් තැනින් තැන.ටොයිලට් එකට තියෙන්නේ ගඩොල් කැට දෙකක් අල්ලපු මුල්ලක්.මහ ලොකුවට ඒ මනුස්සයගේ සුවාමි පුරුසයා පොලීසියෙලු.මගේ වාචාල කටට හොද හොද ඒවා ආවා,ඒත් ඉතිං මං සද්ද නැතිව ඉදලා ඕන උනොත් කෝල් කරන්නම් කියලා ආයිමත් පාරට බැස්ස.

    ඊළගට තමයි රසම වැඩේ උනේ.ටික දුරක් ගිහින් කඩේකින් ඇහුවා තව තැනක් ගැන.එතනින් කිව්වා ඉස්සරහ සෝමා අක්කගේ ගෙදරින් අහන්න කියලා.මාත් ඉතිං වීරයා වගේ අදාළ තැනට ගියා.ගිහින් ඇහුවා සෝමා අක්කා ඉන්නවද කියලා.මෙන්න බොලේ ආවේ නැතෑ අවුරුදු 70ක් විතර වෙන ආච්චි කෙනෙක්.අපේ අත්තම්මටත් වැඩිය වයසයි.මං ඒත් නොදන්න කමට ආයිමත් ඇහුවා සෝමෙ අක්ක ඉන්නවද කියලා.මේ ගෑනි පැනපු ගමන් කියපි ඔව් ඒ මම තමයි මල්ලි කියලා.මාව නිකං කරකවලා ආයිමත් කරකවලා අත ඇරියා වගේ,මට ෆුල් හොල්මන්.අනේ බං ආච්චියේ විහිලු කරන්න එපා කියලා කියවෙන්නෙ නැතිව දිව බොහොම අමාරුවෙන් හදං අක්කෙ මේ කාමරයක් බලන්න කියලා පැටලි පැටලි කිව්වා.කාමර පේළියක් තියනවා එයින් එකක හිස් කාමරයක් තියනවා කියලා කිව්වෙ.ඒක පෙන්නන්න එක්කන් යනකොට එක කාමරේක දොරක් ඇරුනා,ඇරුනු දොරින් ආවෙ නැතෑ කොටටම ගවුම් ගහගත්ත තොල් රතුම රතු පාට කරපු අංගනාවො 3න් දෙනෙක්.මට තේරුණා මුන් ටික ලෝකෙ පරණම රස්සාව කරන උන් කියලා.රෑ රස්සාවට දවල් තිස්සෙ හැංගුන තැනින් එළියට බහිනවා කියලත් තේරුනා.මේ මළ හැන්දෑවෙ මට හොදටම දාඩිය දාන්න ගත්තා.කොහොමද ඒ වෙලාවෙ පොලොස් මහත්තුරු ටිකක් එහෙම එතනට පහත් උනානම්? එහෙනම් ඊලග දවසේ පත්තරේ මුල් පිටුවෙම දායි අහවල් විස්ස විජ්ජාලෙ අහවලාගේ පුතා අහවල් තැනක අහවල් වැඩේ කරන්න ඇවිත් පොලිස් දැලේ කියලා.මං කාමර බැලිල්ල පැත්තක තියලා ෆෝන් එකත් කනේ ගහන්,අනේ බුදු අක්කේ හදිස්සියක් යන්නම වෙනවා කියලා එතනින් හනිකට චුත වුනා.මං ඒ වෙලාවේ බයිසිකලේ පෑගුව හැටි ලෝක සයිකල් සූරයා දැක්කනම් ඌ මගෙන් සයිකල් පදින හැටි ඉගෙනගන්න එනවා.ඒ පැදපු පැදිල්ල ගෙදරටම ඇවිල්ල තමයි නතර උනේ.ඇවිත් පැය ගානක් හති අරින්නත් උනා.ඔන්න ඔහොම තමයි රත්මලාන පැත්තේ බෝඩිම්.

කාගෙත් හිත සුව පිණිස හිතා මතාම නම් ගම් වෙනස් කරන ලදී.කාගේ හෝ හිත රිදුනේ නම් සමාවෙන්න,මෙය මල් මල් කොලුවාගේ එක්තරා අත්දැකීමක් පමණි.ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

ප/ලි

අප හිතවත් ගූගල් දෙයියා මා බොලොක්කයේ ඇති කමන්ට් ස්පෑම් යැයි සලකා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන හෙයින් එතුමාට එකට එක කිරීමක් ලෙස මෙම බොගයෙන් ගූ ගල් කමෙන්ට් පෙස්ටිය ඉවත් කරන ලදී.මේ තාක් දුරට මා දිරිමත් කල,අදහස් එක්කල සියල්ලගේම කමෙන්ට් ගූ ගල් දෙයියා සමග වලපල්ලට යන බැවින් කමාව අයදිමි.බොගර් කමෙන්ට් පෙස්ටියට ජය වේවා යැයි පතමින් මෙතැන් සිට එම පෙස්ටිය සැවොම භාවිතා කරමු.....